වැලිකඩ සිරකරු නඩු තීන්දුව; රංගජීව නිදහස්, ළමාහේවාට මරණීය දණ්ඩනය....

ජන 12, 2022

    2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ දී ඇතිවූ ගැටුම්වලදී සිරකරුවන් 08 දෙනෙකු මරා දමන ලදැයි චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතාට අධිකරණය විසින් මරණීය දණ්ඩනය ද නියම කරනු ලැබුවා.

    ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

    2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සන්තකයේ තිබූ නීති විරෝධී හා තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කරන ලදී.

    එම මෙහෙයුම අතරවාරයේ බන්ධනාගාරය තුළ තිබූ ආයුධ ගබඩාව බිඳ එහි තිබූ ගිනි අවි රැඳවියන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ගැටුමක් නිර්මාණය වූ අතර එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක තුනක් බන්ධනාගාරය තුළට යොමු කෙරුණු බව ද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

    එම ගැටුම මැඩ පැවැත්වීම සිදුවන අතරවාරයේ මෙම නඩුවේ චුදිතයන් දෙදෙනා විසින් තෝරා ගත් රැඳවියන් අට දෙනකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශය නැමති ප්‍රදේශයට රැගෙන ගොස් මරා දැමීම, ඊට කුමන්ත්‍රණය කිරීම සහ නීති විරෝධී ජන රාශියක් වශයෙන් රැස්ව කටයුතු කිරීම ඇතුළු අපරාධ චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News