වත්කම් බැරකම් ප්‍රකාශ ගැන දුන් නියෝගයකට එරෙහිව අභියාචනයක්

ජන 11, 2022

    වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු මුදා හරින ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් නිකුත් කළ නියෝගයකට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අභියාචනාධිකරණ විනිසුරු දෙදෙනෙකු අද ඉවත් වුණා.

    පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් කේ. ඒ. රෝහණදීර යන මහත්වරු විසින් මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුනා.

    එම අභියාචනා සලකා බැලීම සඳහා අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී අදාළ විනිසුරුවරු දෙදෙනා ප්‍රකාශ කළේ තමන් මෙම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි.

    ඒ අනුව පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ල නම් කිරීම සඳහා අදාළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමුකරන ලෙසත් එම විනිසුරුවරු දෙදෙනා නියෝග කළා.

    අනතුරුව අභියාචනය ජනවාරි මස 20 දා කැඳවන ලෙසයි නියෝග කෙරුණේ.

    අභියාචනය ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ මාධ්‍යවේදී චාමර සම්පත් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ තොරතුරු කොමිසම විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් මුදාහරිණ ලෙස තමන් වෙත නියම කර ඇති බවයි.

    තොරතුරු කොමිසමේ එම නියෝගය නීතියට පටහැනි බවත් එබැවින් එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News