යුග දනවි පෙත්සම් විභාගය යළි ඇරඹෙයි

ජන 10, 2022

    කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තුන් වන දිනටත් විභාග කිරීම ආරම්භ වුණා.

    අදාළ පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවැත්වෙනවා.

    අද දින පෙත්සම්වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කිරීම සිදු කළා.

    පෙත්සම් විභාගය තව දුරටත් පැවැත්වෙනවා.

    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් සියයට 40 ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

    මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කළා.

    එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද සඳහන් කළා

    මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතළ ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

    එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ලැබූ තීරණය බලරහිත කිරිමේ ආඥාවක් නිකුත් කරන ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටි.

    Latest News