මත්ද්‍රව්‍ය මැඩලීමට එරෙහිව තිබූ දේශපාලන බලපෑම් ඉවත් කළා...ප්‍රතිඵල තමයි මේ..

පෙබ 25, 2019

    ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කරමින් පොලිසියට ස්වාධීනව කටයුතු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට එරෙහිව පැවැතිව දේශපාලන බලපෑම් ඉවත් කළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රතිඵල අද වන විට ශ්‍රී ලංකාව තුළත්, ඉන් පිටතත් ලැබෙමින් තිබෙන බව ඊයේ (24) වනදා අරණායක දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් නැවත වතාවක් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය 23 වන දා අත්අඩංගුවට ගත් බවත්, ඊට සම්බන්ධ වූ සියලූ නිලධාරීන්ට තම ස්තුතිය පළ කර සිටින බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (24) දින අරණායක, මාවතගොඩ, රිවිසඳ මහා විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එම උත්සවයට සහභාගි වීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරණායක උස්සාපිටිය, ශ්‍රී සුමංගල විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට ද සහභාගී විය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

    පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය නැවත වතාවක් රටේ විශාලම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඊයේ අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. එය මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමේ වැඩසටහනේ ඉතා හොඳ පියවරක් බව කිව යුතුයි. මෙය සිදු කිරීමට හැකි වුණේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමේ වැඩසටහනට එල්ල වූ දේශපාලන බලපෑම් ඉවත් කිරීමට අපට හැකි වූ නිසයි.

    ජාතික පොලිස් කොමිසම අපි ආරම්භ කළා. මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට එරෙහිව එල්ල වූ දේශපාලන මැදිහත් වීම වැළැක්වීමට ඒ හරහා අපට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළත්, ශ්‍රී ලංකාවෙන් පිටතත් දැන් අපිට දකින්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයි.

    අප ඒ කටයුතු සිදු කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් යැයි අග්‍රාමාත්‍යතුමන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, අරණායක එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ලලිත් දිසානායක, සබරගමුව හිටපු විපක්ෂජනායක ඩබ්ලිව්. සෝමදාස, කෑගල්ල එක්සත් ජාතික පක්ෂල ප්‍රධාන සංවිධායක ලිලාන් අමරකෝන් යන මහත්වරු ඇතුලූ පළාත් සභා, ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 19:55

    Latest News