අඩුපීඩන කලාපය බෙංගාල බොක්ක දෙසට

දෙසැ 17, 2021

    දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් දිවයිනෙන් බැහැරව නැගෙනහිරට ගමන් කරනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන්, උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

    උතුරු, උතුරු - මැද සහ සබරගමුව පළාත්වලත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

    Last modified on සිකුරාදා, 17 දෙසැම්බර් 2021 09:37

    Latest News