ප්‍රියන්ත කුමාර ඝාතනයේ, සැකකරුවන්ට එරෙහි නඩු විභාගය දිනපතා....

දෙසැ 11, 2021

    පකිස්තානයේ, සියල්කොට් නගරයේදී ශ්‍රී ලාංකික වෘත්තික ප්‍රියන්ත කුමාර මහතාට පහරදී ඝාතනය කළ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය දිනපතා පැවැත්වීමට පන්ජාබ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

    දින 14ක් තුළ පරීක්‍ෂණ නිමකොට නඩුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කෙරුණා. පන්ජාබ් ප්‍රාන්ත රජයේ නීතිය හා සාමය පිළිබඳ කැබිනට් කමිටු රැස්වීමක් ඊයේ සවස පැවැත්වුණා. ඒ, ප්‍රාන්ත නීති කටයුතු ඇමති මුහම්මද් බශ්‍රාත් රාජාගේ ප්‍රධානත්වයෙන්.

    විශේෂ අභිචෝදක කණ්ඩායමක් යොදවා අධිකරණ ක්‍රියාමාර්ග වේගවත් කිරීමට මෙහිදී තීරණය කෙරිණ. සිද්ධියට අදාළ CCTV කැමරා සියයකින් පමණ ලබාගත් දර්ශන පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කිරීමට පොලිසිය ‍පියවර ගෙන තිබෙනවා.

    පරීක්‍ෂණ දින 14ක් තුළ අවසන් කිරීම ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රියාමාර්ග ගනු ලැබුවා. සැකකරුවන් කිසිවෙකුත් වෙනුවෙන් නීතිඥයන් පෙනී නොසිටින බව, පකිස්තාන නීතිඥ සංගමය නිවේදනය කර තිබෙනවා.

    මේ වනවිට ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙකු සහ සෙසු සැකකරුවන් 139 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවනවා. ප්‍රියන්ත කුමාර ඝාතනය පකිස්තානයේ ප්‍රතිරූපයට හා ආර්ථිකයට බරපතල අහිතකර තත්වයක් නිර්මාණය කළා. එබැවින් හැකි ඉක්මනින් යුක්තිය ඉටුකිරීම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයේ අපේක්‍ෂාවයි.

    Latest News