මොහොමඩ් රූමිට රට යන්න අධිකරණයෙන් අවසර

දෙසැ 10, 2021

    ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගිය බවට සඳහන් කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තවත් විත්තිකරුවෙකු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතාට විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අද අවසර ලබාදුන්නේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වූ මොහොමඩ් රූමි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තම සේවාදායකයාට වෙළඳ ප්‍රදර්ශනයකට සහභාගිවීම සඳහා ජනවාරි මස 22දා සිට පෙබරවාරි මස 28 වන දා දක්වා කාල සීමාව තුළ විදේශගත වීමට අවශ්‍යව තිබෙන බව දැනුම් දුන්නේය.

    ඒ අනුව විත්තිකරුට දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ විත්තිකරුට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරමින් විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය.

    Latest News