ලෝක සාගර සමුළුව අගමැති අමතයි...

දෙසැ 07, 2021

    ශ්‍රී ලංකාව, කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට රජය කැපවී සිටින බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.

    ආසියා පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවේ ප්‍රධාන දේශනය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පවත්වමින් අග්‍රාමාත්‍යතුමා අද මේ බව කියා සිටියා. සමුළුව සංවිධානය කළේ "ද ඉකොනොමික්ස්" කණ්ඩායම විසින්. ඉන්දීය සාගරයෙන් වට වූ දූපත් රාජ්‍යයක් ලෙස සාගරය මෙන්ම එහි වැසියන්ට ගෞරව කිරීමටත්, ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීමටත්, විශාල වගකීමක් ශ්‍රී ලංකාවට පැවරී ඇති බවයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහිදී කියා සිටියේ.

    ලබන 10 වැනිදා දක්වා මර්ගගත ක්‍රමයට පැවැත්වෙන සමුළුවට ලොව පුරා 2,000 කට අධික පිරිසක් එක්ව සිටිනවා. මෙවර සාකච්ඡාවේ ප්‍රධාන තේමාවක් වී ඇත්තේ, "නීල මූල්‍ය යාන්ත්‍රණයක්" සහ ප්‍රධාන ධාරාවේ මූල්‍ය මගින් තිරසර නිල් ආර්ථිකයකට වඩා හොඳින් සහයවිය හැකි ආකාරය විමසා බැලීමයි.

    පර්යේෂණ හා සංවර්ධන කටයුුතු සඳහා සැලකිය යුතු මූල්‍ය හා මානව සම්පත් අවශ්‍ය වන බැවින්, සාගර සුවතාව වැඩි දියුණු කිරීම සහ සමුද්‍ර ජෛව විවිධත්වය ඉහළ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන් වෙත සහය දැක්වීමට, තිරසාර සමුද්‍ර තාක්ෂණය සහ දැනුමෙන් සන්නද්ධ සංවර්ධිත රටවලට ආරාධනා කරන බවයි, අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ.

    Latest News