උමාඔය මේ වසරේ අවසන් කිරිමට ජනපති උපදෙස්

පෙබ 22, 2019

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අගෝස්තු නිම කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92‍ක් පමණ අවසන්ව ඇති අතර ඉදිරි කටයුතු ද කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්ට අද දැනුම් දුන්නේ ය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප‍්‍රගතිය සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට අද (22) එක් වෙමිනි.

    ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් වන උමාඔයට අයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 535 කි. මේ යටතේ ඉදිවන භූගත විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 120ක විදුලිබල ධාරිතාවක් එක් කෙරෙන එහි ඉදිකිරීම් මේ වන නිම වෙමින් පවතී. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් දකුණේ සහ නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000 කට යල මහ දෙකන්නයේ වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ. එමෙන්ම වැල්ලවාය, මොණරාගල පළාත්වල කුඩා වැව් 300 ක් පමණ මෙමගින් පෝෂණය කිරීමට නියමිතයි.

    ජලාශයේ ප‍්‍රධාන උමගේ ඉදිකිරීම් ද අද ජනාධිපතිතුමාගේ නිරික්ෂණට ලක් විය.

    ව්‍යාපෘතිය හරහා පුහුල්පොල දී සහ ඩයරබා දී ජලාශ දෙකක් ඉදි කෙරෙන අතර එම ඉදිකිරීම් ද ජනාධිපතිතුමා නිරික්ෂණය කරනු ලැබීය. පාරිසරික බලපෑම් පිළිබඳ නිසි ඇගැයීම් සිදු කරමින් සහ නිරන්තර අවධානය යොමු කරමින් ව්‍යාපෘතියේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු නිලධාරින් ද ශ‍්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම නිරික්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

    Latest News