මේ වසරේ යහපත් ආර්ථික වර්ධන අපේක්ෂාවක්

පෙබ 22, 2019

    ශ්‍රී ලංකාව මේ වසරේ යහපත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අපේක්‍ෂාවෙන් පසුවන බව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.

    පසුගිය වසරේ දේශපාලන අර්බුදකාරී තත්වය පදනම් කරගනිමින් ආර්ථික වර්ධන වේගය සියයට තුනක මට්ටමට ඇඳ වැටුණු බව, ඔහු පවසයි.
    ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය හා ඊට අදාළ දත්ත පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා...
    “ගණනය කිරීම් අනුව පෙනී යනවා මෙරට උද්ධමනය සියයට හතරක්, හයත් අතර මට්ටමක පවත්වාගෙන යාමට අප සමත්වී ඇති බව, එය නියමිත ඉලක්කය සපුරාලීමක්. ආහාර ද්‍රව්‍ය ආශ්‍රිත මිල ගණන් විශාල වශයෙන් ඉහළයාමක් පෙන්නුම් නොකිරීම මේ සාධනීය තත්වයට හේතුවයි. ජනවාරි මාසයේ උද්ධමනය තරමක් ඉහළයාමට හේතු වූයේ අධ්‍යාපනික වියදම් හා ගෙවල් කුලී මිල ගණන් ඉහළ අගයක් පෙන්නුම් කිරීමයි. අමෙරිකානු භාණ්ඩාගාරය පොලී අනුපාත ඉහළ දැමීම හා චීන-අමෙරිකා වෙළෙඳ යුද්ධය ද අපට අහිතකර ලෙස බලපෑ බවයි.

    එහෙත් මේ වසරේ අමෙරිකානු භාණ්ඩාගාරය පොලී අනුපාත ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට උත්සුකවීම හොඳ ප්‍රතිඵල ගෙන දෙන්නක්.
    පසුගිය වසර අග භාගයේ අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව දැඩි ලෙස අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වනවිට ස්ථාවර වෙමින් තිබෙන බව, මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම පසුගිය වසර වනවිට ශ්‍රී ලංකාව නියමිත පරිදි අමෙරිකානු ඩොලර් කෝටි සියයක අන්තර්ජාතික බැඳුම්කර යළි ගෙවීමක් සිදුකර තිබේ. ජනවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සතු නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් කෝටි 620 ඉක්මවයි. එය මාස තුනකට අධික කාලයකට ජාතික සැපයුම් සඳහා ප්‍රමාණවත් වේ. ආර්ථිකය ශක්තිමත්වීමට දේශපාලන ස්ථාවරභාවය වැදගත් වන බවයි මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 18:41

    Latest News