ජනපති පදවි ප්‍රාප්තියේ දෙවර්ෂපූර්ණය අදයි (වීඩියෝ)

නොවැ 18, 2021
  • අභියෝග රැසක් ජයගත් රාජ්‍ය පාලනයක දෙවර්ෂපූර්ණය අදට යෙදී තිබෙනවා.

    ඒ, තිස් වසරක යුද්ධය නිමා කිරීම සඳහා ඉටු කළ නිර්භීත කාර්යභාරයට නොදෙවෙනි නායකත්වයක් ලබාදෙමින්,  රට නව දිසානතියකට හැරවූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂපූර්ණයයි. මේ ඒ පිළිබඳ කෙටි සටහනක්.

    ජාතික ආරක්ෂාව දුර්වලව තිබූ හා බංකොලොත් ආර්ථිකයක් අභියස සිටි මාතෘ භූමියක් ජයග්‍රහණය කරා ගෙනයාමේ වගකීම 69 ලක්ෂයක් ජනතාව විසින් ගේාඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෙවුරමත තබනු ලැබුවා. පැවති ආණ්ඩුව විවේචනය පසෙකලා ජනතා වගකීම ඉටුකිරීමට එතුමා පෙරමුණ ගත්තේ, රුවන්වැලි මහා සෑය පරිශ්‍රයේ දිවුරුම් දීමෙන් අනතුරුවයි. පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීම සඳහා සිදුවන මුදල් නාස්තිය වළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කෙරුණා.

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගම සමග පිළිසඳරක් වැඩසටහන ආරම්භ කරමින් දුෂ්කර ප්‍රදේශ වෙත ගොස් එහි අඩුපාඩු සොය බැලීමේ ක්‍රමවේදයක් ද ආරම්භ කළා. 
    බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිශෝධනයට ලක් කර, පාතාල නායකයින් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදු කරන අපරාධ මෙහෙයුම් නතර කිරීමට පියවර ගනු ලැබුවා.

    නිවසක් නොමැති දුගී පවුලක් තේරාගෙන එක් ග්‍රාමසේවා වසමකට නිවස බැගින් නිවාස 14,000 ක ඉදිකිරීම්, දැන් අවසන් අදියරට ලඟා වී තිබෙනවා.  වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,000 දක්වා ඉහළ දැමුණා.  අඩු ආදායම් ලාභීන් හා උපාධිධාරින් සඳහා රැකියා 150,000 ක් පිරිනැමුනා. ජනතා ඉල්ලීමට කන්දෙමින් තවත් උපාධිධාරීන් 10,000 කට ස්ථිර රැකියා ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගත්තා.

    පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000 ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර ගනු ලැබුවා.  කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැතිවරණයට පෙර ජනතාවට දුන් තවත් පොරොන්දුවක්. කෙතරම් අභියෝග මධ්‍යයේ වුවද, කාබනික පොහොර වගාව සඳහා ගොවි ජනතාව යොමු කරවීම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතිනවා. එම උත්සාහය නූපන් දරු පරපුරේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ගත් අභීත තීරණයක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.

    කොරෝනා වසංගතය ගෝලීය අර්බුදයක් බවට පත්වෙමින් තිබියදී ජනතාව ආරක්ෂා කර ගැනීමට කඩිනමින් ක්‍රියාමාර්ග වලට එළඹුණා. වූහාන් නගරයේ සිටි සිසුන් සිය රටට ගෙන්වා ගත් සිව් වැනි රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් වූයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම අනුවයි.  රටේ සමස්ත ජනගහනයෙන් 70% කට ආසන්න පිරිසකට එන්නත් මාත්‍රා 02 ම ලබාදීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ තවත් විශිස්ට ජයග්‍රහණයක්.

    සෞභාග්‍යයේ නවමු කඩඉමක් සනිටුහන් කරමින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය ක්‍රියාත්මකයි. හරිත සංකල්පය පෙරදැරිව නගර සියයක් සංවර්ධනය කෙරෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයක් සඳහාම ජාතික පාසලක් බැගින් ආරම්භ කෙරුණා. ඇනහිට තිබූ මධ්‍යම අධිවේඟී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් සිදු කෙරෙන්නේ, ජනාධිපතිතුමාගේ උපදෙස් අනුවයි.

    එහි, මීරිගම සිට කුරුණෑගල කොටස නුදුරේදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. පෑළියගොඩ නව කැලණි පාලමේ ඉදිකිරීම් ද අවසන්.  එය, මෙරට මාර්ග සිතියමේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරනු ඇති. නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් එකම දිනයකදී ආරම්භ කෙරුණා. ගෝලීය වසංගත තත්වය ඇතුළු දැවැන්ත අභියෝග හමුවේ වුවද, මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ සැලසීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 නොවැම්බර් 2021 19:29

    Latest News