දරුවන් සුරැකීමට ජාතික අරමුදලක් (විඩියෝ)

පෙබ 20, 2019

    දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා පවසයි.

    දරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබා ගනිමින් දරුවන් වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති, දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද මතුව තිබෙන විවිධ සමාජ අභියෝග සමග දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බවයි. එහි අරමුණ වත්මන් දරු පරපුරට එල්ලවී ඇති අභියෝග පිළිබඳ සෑම ක්ෂේත්‍රයකම පුළුල් සංවාදයක් ඇති කිරීම සහ සාකච්ඡාවට ලක් කිරීම බව ඔහු කියා සිටියේය.

    දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බවයි. 05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලු දෙනාගෙ අවධානය යොමු විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
    එක්සත් ජාතින්ගේ සංවිධානයේ ළමා ප්‍රඥප්තියේ සඳහන් කාර්යයන් සහ වගකීම් ඉටුකිරීමට රජයක් ලෙස බැඳී සිටිනවා සේම රටේ දරු පරපුර වෙනුවෙන් සියලු යුතුකම් ඉටුකිරීමට තමා වගකීමෙන් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ කාර්යක් ලෙස ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන අපයෝජනය හා අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ මෙම වැඩසටහන දීප ව්‍යාප්ත ව ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන, මනෝ උපදේශන සහ නීති උපදේශන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මකය.

    දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය හා සෞඛ්‍ය පිළිබඳ විශේෂ දේශන ජ්‍යෙෂ්ඨ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා සහ විශේෂඥ වෛද්‍ය නවාස් ජිෆ්රි මහතා විසින් මෙහිදී සිදු කරන ලදී.

    බස්නාහිර පළාතේ ආබාධ සහිත දරුවන් සිටින පාසල් සඳහා ප්‍රවේශ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම, ළමා නිවාස අළුත්වැඩියා කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 05 ක් සඳහා උපකරණ කට්ටල ප්‍රදානය, තිරසර පාසල් වැඩසටහන යටතේ ජල පහසුකම් නොමැති පාසල් වෙත එම අවශ්‍යතා සපුරා ගැනීමට මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම මෙන්ම, අපේ ආරවුල් අපිම විසඳමු, පාසල් සමථකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 14 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් අද දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    කාන්තා හා ළමා කටයුතු ඇමතිණි චන්ද්‍රානි බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පළාත් අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි, රංජිත් සෝමවංශ, ලලිත් වනිගරත්න යන මහත්වරුන් සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 19:49

    Latest News