සේවයෙන් නික්ම යන චෙක් ජනරජ සහ ඊජිප්තු තානාපතිවරු අගමැති හමුවෙයි

ඔක් 16, 2021

    සිය සේවා කාලය නිම කර පිටව යන ශ්‍රී ලංකාවේ චෙක් ජනරජ සහ ඊජිප්තු තානාපතිවරු ඊයේ (15) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

    චෙක් ජනරජ තානාපති මිලාන් හොවර්කා සහ ඊජිප්තු තානාපති හුසේන් එල් සහර්ති මහත්වරු මෙලෙස අග්‍රාමාත්‍යතුමා බැහැ දැක සිය සේවා කාලය ලබන සතියේ නිම වන බව සැළ කර සිටියහ.

    සිය ධුර කාලය තුළ ලැබුණු සියලු සහයෝගයන්ට සිය  කෘතඥතාව පළ කරන බව චෙක් ජනරජ තානාපති මිලාන් හොවර්කා මහතා  මෙහි දී පැවසීය. ඊජිප්තු තානාපති හුසේන් එල් සහර්ති මහතා අදහස් පළ කරමින්  “ආගන්තුක සත්කාරය සහ දක්වන ලද  කරුණාව පිළිබඳව තමා බෙහෙවින් කෘතඥ වන” බව කියා සිටියේය.

    තානාපතිවරුන් දෙදෙනාම තම සේවා කාලය තුළ නිම කළ කාර්යය ගැන අග්‍රාමාත්‍යතුමාට කරුණු පැහැදිලි කළහ.

    තානාපති මිලාන් හොවර්කා මහතා නවදිල්ලියේ නේවාසිකව සිට ශ්‍රී ලංකාවේ තානාපති ලෙස වසර හයක කාලයක් කටයුතු කළ අතර ඊජිප්තු  තානාපති හුසේන් එල් සහර්ති වසර හතරක කාලයක් නේවාසිකව එම ධුරය හෙබවීය.

    දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති එන්නත් ලබාදීම සහ ක්‍රමානුකූලව මෙන්ම ආරක්ෂිතව රට විවෘත කිරීම පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයෝ දෙදෙනාම රජයට ප්‍රශංසා කළහ.

    සිය රටවල ජනතාව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා විශාල උනන්දුවක් දක්වන බව ඔවුහු පැවසූහ.

    නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිතව මේ ආකාරයෙන් රට විවෘත කිරීම තුළින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සංචාරකයින් තුළ විශ්වාසයක් ඇති වන බව ඔවුහු පැවසූහ.

    මෙම හමුවීම්වල දී ජනතාව අතර අන්‍යෝන්‍ය සබඳතා තහවුරු කිරීම, ආර්ථික හා ආරක්ෂක සහයෝගීතාව මෙන්ම ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යන හුවමාරු වැඩසටහන් පිළිබඳවද අවධානය යොමු විය.

    Latest News