අගමැති: රටට ආදරය ඇති බෞද්ධ නායකයා කවුද (වීඩියෝ)

පෙබ 17, 2019

    ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බෞද්ධාගම අවබාවිත කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සැබෑ බෞද්ධයෙකුට එසේ කළ නොහැකි බව, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. සේදවත්ත වෙහෙරගොඩ, පුරාණ විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරයේ ඉදිකළ අභිනව රන්වැට, සසුනට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසිය. විහාර මන්දිරයේ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු ද සුභ මොහොතින් ආරම්භ කෙරිණ.

    ඉන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...“ බුදුරජාණන් වහන්සේගේ ධර්මය රකින්නවත්, ආරක්‍ෂා කරන්නවත් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ. ඒකයි නියම බෞද්ධකම, ඒකයි නියම සිංහලකම. ඉතිං සිංහල බෞද්ධ කියා වැඩ කරන අය බෙරගහන්නේ නැහැ. සිංහල-බෞද්ධ කියා බෙරගහන අය වැඩ කරන්නේ නැහැ.

    බෙර ගහන්නේ දේශපාලනයට. වැඩ කරන්නේ බෞද්ධාගම වෙනුවෙන්. අද ඕකයි රටට වෙලා තියෙන්නේ. අද මේක මම කිව්ව විට රූපවාහිනිවල, ගුවන්විදුලිවල සාකච්ජා අරගෙන මට බනින්න පටන් ගන්නවා. නමුත්, ඒක තමයි ඇත්ත. නමුත්, මට කොච්චර බැන්නත් කමක් නැහැ. සමහර අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයටත් වඩා ඉහළින් යනවා. ඒගොල්ලන් තමයි ලියාපදිංචි කරන්නේ කවුද සිංහල බෞද්ධයෝ, කවුද සිංහල බෞද්ධයෝ නොවන්නේ කියලා.

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොතරම් පිළිගත්තත් වැඩැක් නැහැ මේ සහතිකය තමුන්ට නැත්නම්. අපේ වැඩ කටයුතු තියෙන්නේ බුදුන්ගේ ධර්මය ආරක්‍ෂා කරන්න. රජයක් හැටියට අපි තවත් වැඩකටයුතු කරනවා කියලා කියන්න කැමතියි“ යැයි අගමැතිතුමා කියා සිටියේය.

    සේදවත්ත වෙහෙරගොඩ, පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අඹන්පොළ ඥාණාලෝක හිමියන් ද උත්සව සභාව ඇමතීය.

    “මේ දවස්වල තියෙනවා මහා ප්‍රශ්නයක්. ඒකට කියනවා ව්‍යවස්ථා අර්බුදය කියලා. ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ප්‍රමුඛස්ථාන ඕනේ කියලා කියනවා. මම අපේ හාමුදුරුවන්ට කියන්න කැමතියි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය තියෙන බැවින් අපි ප්‍රමුඛස්ථානයට වැඩ කරමු කියලා කියන්න කැමතියි. මම හිතනවා අපි හැමෝගෙම කාර්යභාරය වෙන්න ඕනේ බෞද්ධාගමේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමයි. හන්දිවල පෙළපාලි ගිහිල්ලා මේක කරන්න බැහැ කියලා මම බොහොම ගෞරවයෙන් කියනවා. ඔබතුමා තමයි ලංකා ඉතිහාසයේ ආගමික ස්ථාන දියුණු කරන්න ප්‍රතිපාදන ලබලා දුන්නේ. මේ රටේ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයෙක් තමයි අපේ රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමා යැයි“ උන් වහන්සේ ප්‍රකාශ කළේය.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 13:57

    Latest News