කොළඹ වරායේ අත්‍යවශ්‍ය ආහාර බහාලුම් නිදහස් කෙරේ...

සැප් 29, 2021

    කොළඹ වරායේ රඳවා ගෙන ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් අද සවස සිට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශකර ඇත.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදී ලබාදුන් උපදෙස්වලට අනුව මෙම තීරණය ගෙන තිබේ.  කොළඹ වරායේ පර්යන්ත 4 ක මේ වන විට සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් සංඛ්‍යාව 750 කට අධිකයි.

    ආනයනකරුවන්ට එම භාණ්ඩ සඳහා අමෙරිකානු ඩොලර් ලබාදීමට නොහැකි වීම නිසා, දින ගණනාවක් කොළඹ වරාය තුළ මෙම බහාලුම් රඳවා ගැනීමට රේගුව පියවර ගත්තා. එහෙත්, ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීම සඳහා අග්‍රාමාත්‍යතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේ, හැකි ඉක්මනින් එම අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මුදා හරින ලෙසයි.

    ඒ සඳහා අවශ්‍ය අමෙරිකානු ඩොලර්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු වෙත මුදා හරින ලෙස ද අග්‍රාමාත්‍යතුමා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත උපදෙස් දී තිබේ. ඒ අනුව එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් මුදා හැරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය අමාත්‍යාංශයේ දී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්වුණා.

    වරාය අමාත්‍යාංශ ලේකම්, වෙළඳ අමාත්‍යාංශ ලේකම්, රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමයේ නිලධාරින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. භාණ්ඩ නිදහස් කර ගැනීමේදී ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

    Latest News