මත්පැන් හල් විවෘත කිරීමට එරෙහි පෙත්සමකට දින නියම වෙයි

සැප් 27, 2021

    මත්පැන් හල් විවෘත කිරීමට එරෙහිව ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයක් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි.

    නිරෝධායන නීතියට පටහැනි අයුරින් මත්පැන් හල් විවෘත කිරීමට අවසර දෙන්නේ නම් තම සංගමයේ සාමාජිකයින්ට ද ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවසර දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සංගමයක් විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 4 වනදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද එල්. ටී. බී. දෙහිදෙනිය, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

    එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සදහන් කළේ මෙම නඩුවලට අදාල ලේඛන තමන්ට ලැබුණු ලැබුනේ ඉකුත් සිකුරාදා සවස බවයි.

    ඒ අනුව මෙහි වගඋත්තරකරුවන් රැසක් සිටින හෙයින් ඔවුන් ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා කල් ලබාදෙන ලෙස ද රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තර කරුවන් විසින් ගෙන ඇති තීරණය නිසා තම සේවාදායක සංගමයට අයත් සාමාජිකයින් 7000 ක් පමණ පිරිසකට රැකියා කටයුතු අහිමි වී අගතියට පත් වී සිටින බව පැවසුවා.

    එමනිසා පෙත්සම සලකා බැලීම සඳහා ළඟම දිනයක් ලබා දෙන ලෙස යි නීතිඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 04 වනදා කැඳවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට පෙර වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ වරුන්ට දැනුම් දුන්නා.

    එක්සත් ජාතික ස්වයං රැකියා වෙළද ව්‍යපාරික සංගමයේ සභාපති ජී.අයි.චාල්ස්, උප සභාපති පී.ජී.බී.නිස්සංක සහ ලේකම් ක්‍රිෂාන් මාරඹගේ යන අය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    එහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු 47 දෙනෙකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ නිරෝධායන නීතිය යටතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් මස 20 වනදා නිකුත් කළ නිවේදනයට අනුව මත්පැන් හල් විවෘත කර තැබීම තහනම් කර ඇති බවයි.

    එහෙත් සෞඛ්‍ය නිසි බලධාරියාගේ නියමයන්ට පටහැනි ලෙස ඉකුත් 19 වනදා දිවයින පුරා මත්පැන් හල් විවෘත කිරීමට පියවර ගැනුණු බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මත්පැන් හල් විවෘත කිරීම සඳහා තමන් අවසර නුදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සුරාබදු කොමසාරිස් ජනරාල් සහ පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කර ඇතැයි පවසනවා.

    වග උත්තරකරුවන්ගේ මෙම ප්‍රශ්න ගත ක්‍රියා කලාපය හේතුවෙන් තමන් ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් අයැද සිටිනවා.

    මෙලෙස මත්පැන් හල් තව දුරටත් විවෘත කර තැබීමට අවසර දෙන්නේ නම් තම සංගමයේ සාමාජිකයින්ට ද ව්‍යපාර කටයුතුවල නිරත වීමට අවසර දෙන ලෙස වග උත්තර කරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News