නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු

අගෝ 18, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් නිම කර සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

    මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් මෙම දැනුම් දීම සිදු කළා.

    මෙහිදී පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දන්වා සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා තිබූ පාරිසරික හානිය අධ්‍යයනය කිරීම සඳහා සමුද්‍ර දූෂණය වැලැක්වීමේ අධිකාරිය විසින් විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවත් එම කමිටුව විසින් අදාළ අධ්‍යයනය සිදු කරන බවත් දන්වා සිටියා.

    නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය විශාල තොගයක් මුහුදුබත් වීම නිසා ඒවා සමුද්‍ර ජීවීන් විසින් ආහාරයට ගැනීම හේතුවෙන් විශාල පාරිසරික, ජලජ සහ මිනිස් ජීවිතවලට ද දැඩි බලපෑමක් සිදුවී ඇතැයි පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය මෙම සිද්ධියෙන් සාගරයට, පරිසරයට මෙන්ම ජන ජීවිතයට සිදු වූ හානිය තක්සේරු කිරීමට පවා නොහැකි තත්වයක් පවතින බව දන්වා සිටියා.

    කොළඹ වරායේ පාලක මැදිරියේ පවතින ගුවන්විදුලි පණිවිඩ පටිගත කිරීමේ යන්ත්‍රය තුළ අදාළ නෞකාව අනතුරට පත් වූ කාලසීමාවේ දත්ත පටිගත වී නොතිබීමේ සිද්ධිය පිළිබඳව මෙම යන්ත්‍රය නිෂ්පාදනය කළ සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ ඉංජිනේරුවරයා ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව රජයේ නීතිඥවරිය පැවසුවා.

    අදාල පටිගත කිරීමේ යන්ත්‍රයට ලබාදිය යුතු විදුලිය නිසි පරිදි සම්බන්ධ වී නොතිබීම හේතුවෙන් ඉකුත් මැයි මස 03 වන දා සිට ජූනි මස 8 වනදා දක්වා කාලසීමාව තුළ මෙම දත්ත පටිගත වීමක් සිදු වී නොමැති බව අදාළ ඉංජිනේරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් කර ඇතැයි ද ඇය පෙන්වා දුන්නා.

    කෙසේ වෙතත් මෙම දත්ත කිසියම් පුද්ගලයෙකු විසින් මකා දැමුවාද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන්ම කරුණු තහවුරු කරගැනීම සඳහා එම පටිගත කිරීමේ යන්ත්‍රය රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව ද රජයේ නීතිඥවරිය සඳහන් කළා.

    මෙහිදී අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය ආරම්භයේ පටන්ම අපක්ෂපාතීව සිදුනොවූ බව චෝදනා කළා.

    ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා අතර ඇතිවූ පණිවිඩ හුවමාරු දත්ත ඇතුලත් පටිගත කිරීමේ යන්ත්‍රයට විදුලි රැහැන් සම්බන්ධ වී නොතිබුණා යැයි කියනු ලබන ප්‍රකාශය හාස්‍යජනක බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා මෙලෙස නොසැලකිලිමත්ව කටයුතු කිරීම ගැටලු සහගත බව පෙන්වා දුන්නා.

    මෙවැනි තොරතුරු සමාජගත වීම හරහා රටට ද විශාල අගතියක් සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා පරීක්ෂණ කටයුතු ස්වාධීනව සිදුකරන ලෙස පරීක්ෂණ අංශවලට උපදෙස් දෙන මෙන්ද අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    මෙහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නිතිඥවරිය සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෑම අවස්ථාවකදීම යුක්තිය ඉටු වන ආකාරයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.

    රජයේ රස පරීක්ෂක වාර්තා ඇතුළු විමර්ශන වාර්තා කිහිපයක් කඩිනමින් ලබා ගැනීමට නියමිත බවත් එම වාර්තා ලැබුණු වහාම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියා.

    මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශනවලට අදාළව මෙරට රඳවාගෙන සිටින අදාළ නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් 10 දෙනෙකු විමර්ශනවලට තව දුරටත් අවශ්‍ය නොවන්නේ නම් ඔවුන් කඩිනමින් මුදා හැරීම සුදුසු බව රජයේ නීතිඥවරිය පෙන්වා දුන්නා.

    පැමිණිල්ල නැවත සැප්තැම්බර් මස 6 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියා.

    Latest News