අවුරුදු 12 වැඩි ළමයින්ටත් කොවිඩ් එන්නත් දීමට සැළසුම් කර තිබෙනවා; අගමැති

අගෝ 15, 2021

    වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පැවසීය.

    හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අගමැතිතුමා මේ බව අවධාරණය කළේය. ළමයින්ට එන්නත් ලබාදීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහි දී ප්‍රමුඛත්වය ලබා දෙන බව ද අගමැතිතුමා කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වමින් හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කළාය. අනතුරුව ඇය එහි වෛද්‍ය වරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය සමඟ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූවාය.

    හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු පළමුව ආරම්භ වූයේ 2020 වසරේ මාර්තු මාසයේ දී ය. එතැන් පටන් මේ දක්වා රෝගීන් 6000කට පමණ එමගින් ප්‍රතිකාර කර තිබේ. කොවිඩ් වැළඳෙන ළමයින් සඳහා මෙතෙක් ප්‍රතිකාර ක්‍රියාත්මක වී ඇත්තේ කාන්තා වාට්ටු සංකීර්ණයේය.


    නව ඒකකය ස්ථාපිත වීමත් සමඟ ළමයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇති බව වෛද්‍යවරු පවසති. කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක සෑම පළාතකම ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සංකල්පය වී තිබේ. දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් දැක්වීය.

    මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත්, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ළමාබදුසූරිය, හම්බන්තොට රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සුරංග උඹේසේකර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News