ගුරු - විදුහල්පති වැටුප් ගැටලුවට රජයෙන් තීරණයක්

අගෝ 03, 2021

    වසර අවසානයේ අයවැය අයවැයේ දී ගුරුවරුන්ගේ සහ අනිකුත් රජයේ සේවකයින්ගේ වැටුප් සම්බන්ධ ගැටළුවලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    දිගින් දිගටම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් උද්ඝෝෂණවල නිරත වීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා, මෙම ගුරු ගැටලුව උදෙසා රජයක් ලෙස කෙටි කාලීන විසඳුමක් හෝ ලබා දීමට කටයුතු කළ නොහැකි ද යන්න පිළිබඳව අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    වර්තමානයේ උද්ගතව ඇති ගැටළු හේතු කරගනිමින් සුක්ෂම ලෙස දේශපාලනමය වශයෙන් වාසි ලබා ගැනීමට කටයුතු කිරීමට ද පිරිසක් උත්සාහයක නිරත වන බව දක්නට ලැබෙන බවත්, විවිධ බාහිර පාර්ශ්වකරුවන් කිහිපදෙනකුගේ අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම උදෙසා ගුරුවරුන්ව භාවිතා කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බවත් කියා සිටියේය.

    කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, සියලුම ගුරුවරුන්ගේ අධ්‍යාපන කාර්යය මණ්ඩලයේ නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කරමින් සේවයට වාර්තා කරන ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කොට ඇත්තේ මෙම ගුරු මහත්ම මහත්මීන් සේවයට කැඳවා ගැනීම මඟින් රටේ දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීම අධ්‍යාපන ලේකම්වරයාගේ අභිමතාර්ථය වී ඇති බවයි.

    ඒ හැරෙන්නට ගුරුවරුන් සේවය අතහැර ගිය සේ සළකන්නට රජයේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

    Latest News