ඇස්ට්‍රාසෙනෙකා 2වැනි මාත්‍රාව තවත් එක් ලක්ෂ 74,985කට

අගෝ 03, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව එක් ලක්ෂ 74,985 දෙනෙකුට ඊයේ ලබාදී තිබේ.

    බස්නාහිර පළාතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලබා දීම සිදු කෙරෙන්නේ, ඉකුත් පළමු වැනිදා සිටයි. එහි දෙවැනි මාත්‍රාව ලබාදී ඇති පිරිස දෙලක්ෂ 44,251ක්. බස්නාහිර පළාතේ එන්නත්කරණ මධ්‍යස්ථාන 77කදී ලබන 6 වැනිදා දක්වා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

    ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාදීම බත්තරමුල්ල - දියත උයන පරිශ්‍රයේ දී ඊයේ සිට සිදු කෙරේ. එය පැය 24 පුරා ක්‍රියාත්මකයි. එහි කටයුතු සිදු කෙරෙන්නේ, යුද හමුදාවේ මූලිකත්වයෙන්. ක්‍රමවත්ව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එය සංවිධානය කර තිබේ.

    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 12 දෙනෙකු සහ එහි දෙවැනි මාත්‍රාව 6 දෙනෙකු ඊයේ ලබා ගෙන තිබේ. මොඩර්නා එන්නත ඊයේ ලබා ගත් පිරිස 2,490 දෙනෙක්.

    ඉකුත් දින 7 තුළ පමණක් මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 27 ලක්ෂ 97,107ක්. ඊයේ එන්නත් හාර ලක්ෂ 22,472ක් ලබා දී තිබේ.

    Latest News