ගෝඨාභයගේ කෞතුකාගාර නඩුව ප්‍රතික්ෂේප කිරිමේ ඉල්ලීම ඉවතට

පෙබ 11, 2019

    ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව පවසමින් ගොනුකර තිබු විරෝධතාව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ.

    සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේය.

    ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ අගවිනිසුරු නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි. එබැවින් මෙම නඩුව විභාග කිරීමට තම අධිකරණයට තිබෙන බලය සම්බන්ධයෙන් තීරණයක් දීමට තමන්ට හැකියාවක් නොමැති බව ද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් අවධාරණය කර සිටියේය. ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කළ අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නේය.

    විත්තිය විසින් ඉල්ලා සිටි පරිදි නඩුව විභාගයට දන්වමින් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයේ පිටපතක් ඔවුන් වෙත විවෘත කිරීමට ද අධිකරණය නියම කලේය.

    එම නඩුව අද කැඳවූ අවස්ථාවේ 6 වන විත්තිකරු ලෙස නම් කර සිටින මහින්ද සාලිය නැමැත්තා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු අසනීපව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව නිතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

    ඒ අනුව නඩුව ලබන 22 දක්වා කල් දැමූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එදිනට විත්තිකරුවන්ගේ උත්තරවාද ඉදිරිපත් කරන මෙන් ද නියම කෙරිණ.

    නඩුවේ පළමු විත්තිකරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු පැමිණියේ නඩුව ආරම්භ වී සුළු වේලාවකින් පසුවයි. එ අනුව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මාර්ගයේ පැවති අධික වාහන තදබදය හේතුවෙන් ඔහුට නිසි වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

    රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් විත්තිකරුවන්ට නිසි වේලාවට අධිකරණය පෙනී සිටින මෙන් අවවාදයක් කරනමෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සියලුම විත්තිකරුවන් නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

    පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටියේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    ව්‍යවස්ථාදායකය මෙම විශේෂ මහාධිකරණය පිහිටුවා ඇත්තේ බරපතල ආර්ථික සහ මූල්‍ය වැරදි පිළිබඳ නඩු විභාග කිරීමට බැවින් මෙම නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු විත්තියේ නීතිඥවරුන් මීට පෙර නඩුවාරයේදි මූලික විරෝධතා මතු කළේය. ඒ අනුව විත්තියේ නීතිඥවරු කියා සිටියේ මෙම නඩුව සාමාන්‍ය මහාධිකරණයකට යොමුකළ යුතු නඩුවක් බැවින් විරෝධතා පිළිගෙන නඩුව ප්‍රතික්ෂේප කර විත්තිකරුවන් නිදහස් කරන ලෙසයි.

    රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කර සිටියේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග වීමට සුදුසු බවට අගවිනිසුරු නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය ආරම්භව ඇති බවයි. මේ හේතුවෙන් විත්තිය විසින් මතුකරන විරෝධතාව පදනම් විරහිත හෙයින් එය ප්‍රතික්ෂේප කොට නඩු විභාගය ආරම්භ කරන ලෙස ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

    ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත. නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

    Latest News