ත්‍රී රෝද රථ රියදුරන්ට නොමිලයේ වෘත්තීය පුහුණුව (වීඩියෝ)

පෙබ 10, 2019

    ත්‍රී රෝද රථ රියදුරන්ට මේ වසරේ සිට නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාදීමට රජය තීරණය කර තිබේ.

    එය “ත්‍රීවිල් එකෙන් ෆෝවිල් එකට“ වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි. වැඩසටහන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් ක්‍රියාවට නැංවේ.
    රටේ ශ්‍රම බලකාය ලක්‍ෂ 90ක් වන අතර, ලියාපදිංචි ත්‍රී රෝද රථ සංඛ්‍යාව ලක්‍ෂ 12ක්. ලක්‍ෂ 10ක් පමණ ත්‍රී රෝද රථ රැකියාවේ නියැලි සිටින අතර, එය ශ්‍රම බලකායෙන් නවයෙන් එකක්.

    පොදු ප්‍රවාහනය, පෞද්ගලික වාහන මෙන්ම ත්‍රී රෝද රථ ප්‍රමාණය වැඩිවීම නිසා ත්‍රී රෝද රථ රියදුරන්ගේ දිනක ආයාදම අඩුවී තිබේ. වසරකට ත්‍රී රෝද රථ රැකියාවෙන් ඉවත්වන ප්‍රමාණයට වඩා ඊට යොමුවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සිදුකළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.

    පැය 8ක් ත්‍රී රෝද රථ රැකියාවේ නිරතවන රියදුරෙක් හයර් දුවනු ලබන්නේ පැය දෙකක කාලයක් පමණි. ඔවුන් පැය හයක් පමණ හයර් ලැබෙන තුරු බලා සිටී. එලෙස අපතේ යන කාලය තුළ අමතර රැකියාවක නිරතවීම සඳහා වෘත්තීය පුහුණුව ලබාදේ.

    ජල නල කාර්මික ශිල්පය, විදුලි උපකරණ, ජංගම දුරකතන සහ ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාව, කොණ්ඩ කැපීම යන ක්ෂේත්‍ර පිළිබඳ මේ යටතේ මූලික දැනුමක් ලබාදීමට නියමිතයි.

    ත්‍රී රෝද රථ රියදුරෙකුට වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවශ්‍ය නම් 1951 කෙටි දුරකතන අංකය මගින් ඊට ලියාපදිංචි විය හැකියි. ඊට අමතරව නයිටා දිස්ත්‍රික් කාර්යාලයකදී හෝ “නයිටා ශ්‍රී ලංකා“ ෆේස්බුක් පිටුව ඔස්සේ එම වැඩසටහනට ලියාපදිංචි වීමේ හැකියාව පවතී.

     

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 12:19

    Latest News