මන්ත්‍රී ධුරයට බැසිල් රාජපක්ෂ පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජූලි 07, 2021

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත් කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කෙරිණ. ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඊයේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු විය.

    ඒ බව පාර්ලිමේන්වේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙනු ලැබීය. පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් කොමිසමට දැනුම් දෙනු ලැබුවේ, පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත් කරන ලෙසයි.

    අද උදේ රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා නම් කිරීමට තීරණය කළේය. ඒ අනූවයි, මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූයේ තෙවැනි වරටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා මෙන්ම වත්මන් ජාතික සංවිධායකවරයා ද වන්නේ බැසිල් රාජපක්ෂ මහතායි.

    පක්ෂය ගොඩ නගා කෙටි කලක් තුළ ජනාධිපතිවරයෙක් සහ තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවීමට බැසිල් රාජපක්ෂ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා පැමිණෙන ලෙස ඇරයුම් කළ ජනාධිපතිතුමාටත්,අග්‍රාමාත්‍යතුමාටත්,අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන මැති ඇමතිවරුන්ටත්,පළාත් පාලන නියෝජිත ව්‍යුහයටත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු පාර්ශවකරුවන්ටත්,සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ටත්,ආදරණීය පොදු ජනතාවටත් එම ඉල්ලීමට අවකාශ සකසමින් ස්වකීය මන්ත්‍රීධුරය අත්හැරීමට තරම් නිර්ලෝභී වූ ජයන්ත කැටගොඩ මහතාටත් සිය සුභාශිංසන ස්තූතිය පුද කරන බව බැසිල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

    ඔහු අවධාරණය කරන්නේ, මේ තීරණාත්මක මොහොත කළමනාකරණය සඳහා වූ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ අප්‍රතිහත ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කර පොදු ජාතික අභිලාශයන් ජයග්‍රහණය කරවීම පිණිස කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බවයි.
    ඉදිරි කටයුතු සඳහා සියලු දෙනාගේ හෘදයාංගම ආශිර්වාදයත්, අවංක සහයෝගයත් උපරිමයෙන් අපේක්ෂා කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    Latest News