මධූෂ් සමඟ අත්අඩංගුවට පත් පිරිස අතරින් කිහිප දෙනෙකු මුදාහරී

පෙබ 09, 2019

    ඩුබායි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් බව පැවසෙන මෝටර් රථයක් පාදුක්ක පෝරෙගෙදර ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන ඇත.

    අදාළ හිමිකාර කාන්තාව ද ඩුබායිහි පදිංචිව සිටින බවයි හෙළිවී ඇත්තේ. නිවසක නවතා තිබූ මෝටර් රථය පිළිබඳ තොරතුරු ලැබී පාදුක්ක පොලිසිය විසින් එය පරීක්‍ෂා කළ අවස්ථාවේ ඊට බලපත්‍ර නොතිබූ බැවින් එය පොලිස් බාරයට ගෙන තිබේ.

    මෝටර් රථයේ හිමිකාරිය, වෙත්තමුණිගේ තිලානි නිශායා තිලකරත්න නමැති කාන්තාව බවට හඳුනාගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය. නිවසේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා සැකපිට අත්අඩංගුව ගෙන තිබේ. පසුව කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ, මධූෂ්ගේ අනියම් බිරිඳ අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ ඥාතිවරියක බවයි. පොලිස් බාරයේ සිටින පුත්‍රයා අවස්ථා කිහිපයකදී ඩුබායි රාජ්‍යයට ගොස් පැමිණ ඇති බව තහවුරු වී තිබේ. ඥාති සම්බන්ධය හේතුවෙන් මෝටර් රථය එහි තබා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

    මේ අතර ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ගේ සාදයට සහභාගි වූ රංගන ශිල්පී රයන් වෑන් රූයන් මහතා භාවිත කළ තවත් මෝටර් රථයක් වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවතා තිබියදී වැලිගම පොලිසිය විසින් ඊයේ සොයා ගනු ලැබීය. එම සංචාරක නිකේතනයේ හිමිකරු බව කියන අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා නමැත්තා ද ඩුබාහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව වාර්තාවේ. එම මෝටර් රථයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 05ක පමණ ප්‍රමාණයක් ද සොයා ගෙන ඇත. මෝටර් රථයෙන් මිරිස්සට පැමිණ ඇති රංගන ශිල්පී රයන් වෑන් එම නිවාඩු නිකේතනයේ හිමිකරුවා සමඟ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව, පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

    මාතර ගන්දර තලල්ල ප්‍රදේශයේ නිවසකින් යුද හමුදා නිල ඇඳුම් හා ටී-56 ගිනි අවිය සඳහා යොදා ගන්නා ජීව උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියට අදාළව යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත් අඩංගුවට ගෙන ඇත. මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර සිටින අවිශ්ක කවිශාල් නොහොත් “ජංගා“ නමැත්තාගේ නිවස පරීක්‍ෂාවට ලක් කෙරුණේ ඊයේ පෙරවරුවේදී. අත්අඩංගුවට ගනු ලැබූ කෝප්‍රල්වරයා අවිශ්ක කවිෂාල් නමැත්තාගේ ඥාතියෙකු බව හඳුනාගෙන තිබේ. පොලිස් භාරයට ගත් යුද හමුදා නිල ඇඳුමක අදාළ කෝප්‍රල්වරයාගේ නම සඳහන්ව තිබීම නිසා ඉදිරි විමර්ශන වෙනුවෙන් ඔහු ගන්දර පොලිසිය වෙත බාරදුන් බව යුද හමුදාව පවසයි. නිල ඇඳුම් කට්ටල 18ක්, යුද හමුදා හිස් වැසුම් හා තවත් හමුදා ඇදුම් කට්ටල 05ක්, ටී-56 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 32ක් හා හිස් පතරොම් කොපු එම නිවසේ තිබී සොයා ගෙන තිබේ.

    මාකඳුරේ මධූෂ් ඩුබායි හි සුපිරි හෝටලයක සංවිධාන කළ උපන්දින සාදයේ දර්ශන පෙළක් අන්තර්ජාලයට නිකුත්වී තිබිණ. සාදය අතරතුර අත්අඩංගුවට ගත් පිරිස අතරින් කිහිප දෙනෙකු එරට පොලිසිය විසින් මුදාහරිනු ලැබ ඇති බව වාර්තාවේ. ඒ ඔවුන්ගේ රුධිර සාම්පලවල මත්ද්‍රව්‍ය නොමැති බවට තහවුරු වීමෙන් පසුව. අත්අඩංගුවේ පසුවන තවත් පිරිසක් එරට අධිකරණය හමුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තාවේ.

    Latest News