'ළමා අපචාර කරන්නන්ට එරෙහි නීතිය දැඩි කළ යුතුයි'

ජූලි 06, 2021

    දැයේ දරුවන් අපයෝජකයින්ගෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම සමස්ථ සමාජයටම පැවරී ඇති අත්නොහැරිය යුතු කටයුත්තක් බැවින් කොන්දේසි විරහිතව ළමා අපයෝජකයින්ට එරෙහිවීමත් ඔවුන්ට එරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා බලකිරීමත් එක්ව කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

    අමාත්‍යවරිය මේ බව සදහන් කළේ වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය මගින් අලෙවි කොට අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව සහ කණස්සල්ල පලකරමින්.

    වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයින් 20 දෙනෙකුට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සදහන්ව ඇති අතර තරා තිරම නොබලා ඔවුන්ට දඩුවම් කිරීම අවශ්‍ය බව සදහන් කළ අමාත්‍යවරිය ළමා අපයෝජනය සම්බන්ධයෙන් වාර්තාවූ පළමු සිදුවීම මෙය නොවන බැවින් තවදුරටත් එවැනි සිදුවීම් සිදුනොවන පරිසරයක් නිර්මාණය කිරීම සැමගේ වගකීම බව සිහිපත් කළාය.

    දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තියට අනූව දරුවන් අපයෝජනය සදහා පොළඹවා ගන්නා ඕනෑම අයෙකුට එරෙහිව අවුරුදු 10කට වඩා වැඩිකාලයක් බන්ධනාගාරගත කිරීම හෝ දඩයක් නියම කිරීම හෝ දඩුවම් දෙකම ලබාදිය හැකි වුවත් ළමා අපයෝජනයන්ට එරෙහිව නීතිය තවදුරටත් දැඩිකල යුතු බව අමාත්‍යවරයි පෙන්වා දෙයි.

    අපයෝජකයින්ට දරුවන් දෙස නොබැලීමට පවා බියවන සුළු නීතියක් මෙන්ම අපයෝජකයින්ට දරුවන් වෙත ප්‍රවේශවිය හැකි සියලු මාර්ග අවහිර කල හැකි සමාජ පරිසරයක් ගොඩනැගීම සැමදෙනාගේම වගකීම බවත් මෙහිදී ළමාරක්ෂක අධිකාරියට ප්‍රමුඛ කාර්යයක් පැවරී ඇති අතර විධිමත් ක්‍රමවේද ඔස්සේ දරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබිය යුතු බවත් අමාත්‍යවරිය සිහිපත් කළාය.

    'කොවිඩ් 19' හේතුවෙන් දරුවන් අන්තර්ජාලයට යොමුවීමේ ප්‍රවණතාවය වැඩිවී ඇති අතර, එහි බරපතලම කාරණය වන්නේ ඇතැම් පිරිස් සූක්ෂ්මව දරුවන් අන්තර්ජාලය හරහා ලිංගික හා මානසික අපයෝජනයට ලක්කිරීමට උත්සාහ ගැනීමයි.

    එමෙන්ම ඒ පිළිබදව දෙමවිපියන්ගේ සහ වැඩිහිටියන්ගේ අවධානය ගිලිහීමත් හේතුවෙන් අනාගත සමාජ පරිහානියකට අතවනන තත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    Latest News