සාගර කාරියවසම් මහතාට එරෙහිව වාරණ නියෝගයක්

ජූනි 28, 2021

    කුරුවිට ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත්කර ඒ සඳහා වෙනත් අයකු පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    රත්නසිරි මන්ත්‍රීවරයා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම වාරණ නියෝග නිකුත් කළ අතර එය ලබන 12 වනදා දක්වා බල පැවැත්වෙනවා.

    එමෙන්ම අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් එහි වග උත්තර කරුවන් ලෙස නම් කර තිබූ ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරු වෙත නොතිසි ද නිකුත් කළා.

    පැමිණිලිකරු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ 2020 මැයි මස 20 දා කුරුවිට ජල යෝජනා ක්‍රමය අසලදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අවමන් සහගත අයුරින් බැණ වැදුණේ යැයි චෝදනා කරමින් තමන්ව ඉවත් කොට එම පුරප්පාඩුව සදහා වෙනත් අයකු පත්කරන ලෙස එම පක්ෂයේ ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත ඉල්ලීමක් කරති බවයි.

    තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ගය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පැමිණිලිකාර රත්නසිරි මහතා එබැවින් තමන්ව ඉවත් කොට එම පුරපාඩුව සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

    Latest News