මොහාන් සහ රවීන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේපයි

පෙබ 08, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නගේ නාමයෝජනා, අභියාචනා කමිටුවේ දී ප්‍රතික්ෂේප වී තිබේ.

     

    ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටුව විසින් එම නිලවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසු හා නුසුදුසු නාමයෝජනා කරුවන් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබා දී ඇති නිර්දේශ අනුව ඇමතිවරයා විසින් ගනු ලැබූ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් නිසිබලධාරී ඩබ් ඒ චූලානන්ද පෙරේරා මහතා වෙත දැනුම් දී ඇත.

    ඒ අනුව චූලානන්ද පෙරේරා මහතා නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.

    ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටුව විසින් එම නිලවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසු හා නුසුදුසු නාමයෝජනා කරුවන් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යතුමා වෙත ලබා දී ඇති නිර්දේශ අනුව ඇමතිවරයා විසින් ගනු ලැබූ තීරණය මා වෙත දන්වා තිබේ.

    මෙම නිලවරණයේදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහා 2019/21 වර්ෂ සඳහා සභාපති, උප සභාපති වරු දෙදෙනකු, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහා නිලධාරීන් පත්කර ගැනීමට නියමිතය.

    මේ අනුව මෙම නිලවරණය සඳහා 2018 දෙසැම්බර් 07 දක්වා අයදුම්කරුවන්ගෙන් නාම යෝජනා කැඳවනු ලැබු අතර, ඉදිරිපත් වී සිටි අයදුම්කරුවන් 06 දෙනෙකුට විරුද්ධව අභියාචනා නිලවරණ කමිටුව වෙත විරෝධතා ඉදිරිපත්වී තිබිණි.

    එ් අනුව මෙම විරෝධතා සියල්ල විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තැන්පත් නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මගින් අධ්‍යනය කරන ලදි. එහි සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හා ශ්‍රී ලංකා රේගුවේ විශ්‍රාමලත් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව යන මහතුන් කටයුතු කරන ලදි.

    අදාල අභියාචනා කමිටුවේ තීරණයට අනුව විරෝධතා ඉදිරිපත්වී තිබූ මොහාන් ද සිල්වා මහතා සහ රවීන් වික්‍රමරත්න මහතා යන මහත්වරුන් නිලවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අය ලෙස නිර්දේශ කර තිබේ.

    එසේම විරෝධතා ඉදිරිපත්වී තබූ ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා, බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප කොට එම අය නිලවරණය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබේ.

    මේ නිර්දේශවලට අනුව සහ 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ සහ දැනට බලාත්මක වන ක්‍රීඩා සංගම් රෙගුලාසි වලට අනුකූලවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුකූලවත් ශ්‍රී ලංකා ජනරජයේ ක්‍රීඩා අමාත්‍යවරයා, නිලවරණයට නාමයෝජනා ලබා දී තිබූ මොහාන් ද සිල්වා මහතා සහ රවීන් වික්‍රමරත්න මහතා යන මහත්වරුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කොට මා වෙත තම තීරණය දන්වා ඇත. නාමයෝජනා ලබාදුන් අනෙකුත් සියලු අය නිලවරණය සඳහා සුදුස්සන් වනු ඇත. ක්‍රීඩා පනතේ රෙගුලාසි හා ව්‍යවස්ථාව අනුව අමාත්‍යවරයාගේ එම තීරණය අවසාන තීරණය වන බව ප්‍රකාශයට පත් කරමි.

    ඩබ් ඒ චූලානන්ද පෙරේරා
    නිසිබලධාරී- ශ්‍රී ලංකා ක්‍රිකට්
    සහ
    ලේකම් - විදුලිසංදේශ , විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය

    Latest News