මිහිඳු මහා හිමියන් ලංකාවට වැඩම කළ පොසොන් පොහොය අදයි

ජූනි 24, 2021

    අනුබුදු මිහිදු මහ හිමියන්ගේ අසිරිමත් ලංකාගමන සිදුවූ උතුම් පොසොන් පොහොය දිනය අදයි. ලක්දිව බුදු සසුනේ ආරම්භයත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමටත්,මූලික වූ අග්‍රතම ජාතික පූජෝත්සවය මෙයයි.

    මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම,දෙවැනි පෑතිස් රජු ඇතුළු 40,000ක පමණ පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය හා දෙවියන්ට සමචිත්පරියාය යන සූත්‍රය දේශනා කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් පොසොන් පොහෝ දිනය හා බැඳී පවතියි.

    මිහිඳු හිමියන්ගේ මඟ පෙන්වීමෙන් රජු ඇතුළු ලක්වැසියන් තිසරණ සහිත පංචශීලය සමාදන්ව බෞද්ධයන් බවට පත්විය. ඒ සමග සමාජ සාරධර්ම,ආර්ථිකය,ජනතා සිතුම් පැතුම් හා ආකල්ප පෝෂණය වූයේ නව චින්තනයක් ඔස්සේයි. සමාජයේ තිර පැවැත්මට මහෝපකාරී වන දර්ශනයක් රටේ ස්ථාපනය වූයේ ද මෙම චින්තන විප්ලවයත් සමගයි.

    පොසොන් රාජ්‍ය උත්සවය හා පොසොන් පොහොය දිනය සද්ධර්ම වර්ෂා වැඩසටහන මිහින්තලය පුද බිම කේන්ද්‍ර කර ගනිමින් අද දවස පුරා පැවැත්වෙයි. ඒ මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා අනූවයි.

    සද්ධර්ම වර්ෂා පොහෝ දින වැඩසටහනට බුද්ධ පූජා,ධර්ම දේශනා,ධර්ම සාකච්ජා ආදී වැඩසටහන් රැසක් ඇතුළත්.‍ෙ

    පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් පොසොන් පුරපසලොස්වක පොහෝ දින ලංකාවාසී බෞද්ධ ජනතාව සිය නිවෙස්වල සිට ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් දෙමින් ආගමික වතාවත්වල නිරත වෙති. 

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ජූනි 2021 10:59

    Latest News