හත් දෙනෙකුගේ දිවි රැකුමට පොල්ගස් නගින සමන් කුමාරගේ කඳුලු කතාව

ජූනි 21, 2021
  • මාපියන්ගේ මහගු සම්පත තම දරුවන්. දරුවන් ලොකුමහත් කර රටට වැඩදායී පුරවැසියෙකු කිරීමට මාපියන් කරන කැප කිරීමේ සීමාවක් නැහැ. පොල් කැඩීම ජීවන වෘත්තිය කරගත් මේ පියා දරුවන් සිව් දෙනෙකුට මවගේ සෙනෙහසත් ලබාදෙමින් කරන්නේ ඊටත් එහා ගිය කැපවීමක්.

    ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් මේ කතාව ඔබට කියන්නේ එම පියාට කරන විශේෂ ඇගයීමක් ලෙසයි.
    මෙම අසරණ පවුල ජීවත් වන්නේ දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ කුලී ස්ථානයක. 41 හැවිරිදි සාලිය සමන් කුමාර පවුලේ දිවි සරිකර ගන්නේ පොල් කැඩීමේ රැකියාවෙන්. ඒ සඳහා ඔහු පොල් ගස් නැගීමේ නිරතව සිටින්නේ වසර 30කට අධික කාලයක සිටයි.

    සාලියගේ බිරිද විදේශගත වී ඔහු හා දරුවන් හතර දෙනා අතහැර මේ වන විට වසර ගණනාවක්. සාලියගේ වැඩිමහල් දියණිය විවාහ වුණත් එම විවාහය ද අසාර්ථක වීමෙන් ඇයටත් සිය දරුවන් දෙදෙනා සමග පියාගේ කුලී නිවසටම සීමාවීමට සිදුවෙලා.

    සාලිය පොල් ගස් නැග ලබාගන්නා සොච්චමෙන් මේ වන විට දරුවන් 6 දෙනෙකු පෝෂණය කරමින් සිටියි. දැඩි ආර්ථික දුෂ්කරතා නිවස වසාගෙන සිටියත් සාලිය වේලක් හැර වේලක් හෝ ලබාදෙමින් දරුවන් පෝෂණය කරමින් සිටින්නේ පිය සොනෙහස යනු කුමක්දැයි ලෝකයටම උසස් අර්ථයක් සපයමින්.

    දරුවන් වෙනුවෙන් උදෑසනම අවදි වන සාලිය බුදුන් වැද දෙවියන්ට පින්දී පිහිය සහ පොල්ගස් නැගීමට අවශ්‍ය වළල්ල අතට ගෙන විවිධ ප්‍රදේශවලට පාගමනින් ගොස් පොල් කැඩීමේ නිරතව සිටියි. තමා ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් පවුලේ දිවි ගැටගසා ගැනීමට සාලිය දිනපතා දරන වෙහෙස මහන්සියට නිතර වේදනා අතේ කරගැට හොඳම සාක්ෂියක්.
    රස බොජුන් ලබාදීමට නොහැකි වුවත් කෙසේ හො දරුවන්ගේ සියලුදෙනාට සමව බොදාදෙන්නට සාලියට හැකි වී තිබේ. ලෝක පියවරුන්ගේ දිනයේ පමණක් නොව සැමදාටම සාලිය සමන් කුමාර වැනි ධෛර්යවන්ත පියවරුන් ලෝකයට කෙතරම් ආදර්ශයක්ද?

     

    Last modified on සදුදා, 21 ජූනි 2021 13:33

    Latest News