දෙමටගොඩින් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා; අමාත්‍ය පවිත්‍රා

ජූනි 18, 2021

    ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනාගත් කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති කොවිඩ්-19 මර්දනය සඳහා වූ ක්‍රියාකාරී සමාලෝචනය කමිටුවේදීයි, ඇය මෙම උපදෙස් ලබාදී ඇත. කමිටු රැස්වීමේදී නව වෛරස් ප්‍රභේදය පැතිරයාමේ ගැටලුව පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණු අතර ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශය හුදකලා කොට සාම්පල ලබාගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්‍ෂණ සිදු කිරීමට තීරණය කර තිබේ.

    ආසාදිතයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳව හඹා ගොස් පරීක්‍ෂණ සිදු කිරීමටත් තීරණය කෙරිණ. දැනට ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂ පරීක්‍ෂණ සිදු කිරීමට ද කමිටු රැස්වීමේ දී තීරණය කර තිබේ.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News