මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට එරෙහිව පෙත්සමක්

ජූනි 17, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227 ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුනා.


    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, ආනයන අපනයන පාලන අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා සූඛෝපභෝගී වාහන 227 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි.

    ඊට එරෙහිව විවිධ විරෝධතා මතු වීමෙන් පසුව එම වාහන ආනයනය අත්හිටුවීමට ඉකුත් මැයි මස 24 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගනු ලැබූ බව ප්‍රකාශ කළද එම වාහන ගෙන්වීමට අදාළ ණයවර ලිපි දැනටමත් ලංකා බැංකුව හරහා නිකුත් කර ඇති බැවින් එය අත්හිටුවීමට හැකියාවක් නොමැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇතැයි ද පෙත්සම්කරු සදහන් කළා.

    ජනතාව දැඩි ව්‍යසනයකට මුහුණ දී සිටින මෙම වකවානුවේ මහජන මුදල් වැය කරමින් මේ ආකාරයෙන් සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම නීති විරෝධී බවට තීන්දු කොට ඒ තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම අදාළ වාහන ආනයනය කිරීමට සම්බන්ධව සියලු ලේඛන අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් පවත්වන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    ඊට අමතරව අදාළ වාහන ආනයනය කිරිම සඳහා ලංකා බැංකුව මගින් නිකුත්කර ඇති ණයවර ලිපි සහ එම වාහන ආනයනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බදු සහන සියල්ල නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    මෙසේ ආනයනය කරනු ලබන වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් රජයට අය කර ගන්නා ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News