"බිම්ස්ටෙක්" සංවත්සරය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ පණිවුඩය.....

ජූනි 06, 2021

    “බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය සමරන අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව වෙනුවෙන් සුභාශිංසන එක් කිරීමට ලද මෙම අවස්ථාව මා ඉතා ගෞරවයක් ලෙස සලකමි.

    වර්ෂ 1997දී ශ්‍රී ලංකාවට මෙම ගෞරවාන්විත සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වීමට ලැබීම මහත් අභිමානයට ද හේතු වේ. බිම්ස්ටෙක් සංවිධානයේ වර්තමාන සභාපතිවරයා වශයෙන්, 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම ඇතුළුව ප්‍රධාන බිම්ස්ටෙක් රැස්වීම් අටක් ශ්‍රී ලංකාව විසින් පවත්වන ලදි.

    මෙම රැස්වීම්වල ප්‍රතිඵලයන් ලෙස සමාජික රටවල් සාමුහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමටත්, බිම්ස්ටෙක් සංවිධානයේ අංශ සහ උප අංශ වඩාත් විධිමත්කරණය සිදු කිරීම උදෙසා එකඟත්වයක් ඇතිකර ගැනීමටත්, බිම්ස්ටෙක් සමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික විද්‍යායතන/පුහුණු ආයතන අතර සහයෝගීතාවයට ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් හැකි වූ අතර, මේ තීරණ 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂිතයි.

    මෙම ප්‍රතිඵලයන් ලබා ගැනීමට මහ ලේකම් කාර්යාලය ප්‍රශංසානාත්මක සහයක් සහ අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කරන ලදි. කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කරන ආකාරය සහ සාමාජික රටවල සංචරණ සීමාවන් ලිහිල්වන ආකාරය අනුව ශ්‍රී ලංකාව 5 වැනි බිම්ස්ටෙක් සමුළුව, මෙම වසරේ අගභාගයේ දී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව පැවසීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

    බිම්ස්ටෙක් සංවිධානය ලෝක ජනගහනයෙන් 22% ක ප්‍රමාණයක් නියෝජනය කළ ද එය ලෝක දළ දේශීය නිෂ්පාදනයට සපයන දායකත්වය 4 % කි. එබැවින්, කලාපීය අභියෝග හඳුනාගැනීමට සහ සහයෝගී සංවර්ධනයක් ලඟා කර ගැනීම සඳහා පවතින බොහොමයක් අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට, සාමාජික රටවල් තවදුරටත් සහයෝගීතාව වර්ධනය කළ යුතු බවට මා දැඩි ලෙස ධෛර්යමත් කරමි.

    පෙර පරිදිම සියලු බිම්ස්ටෙක් මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාව තම උපරිම කැපවීම ලබා දෙන බවට මම නැවත සහතික වෙමි. අපගේ ජනතාවට සෞභාග්‍යය සහ සාමය උදාකරනු වස් බිම්ස්ටෙක් සංවිධානයේ සියලු සාමාජික රටවල් එකමුතුව ක්‍රියාත්මක වෙමු.”

    Last modified on ඉරිදා, 06 ජූනි 2021 17:38

    Latest News