මධූෂ් මෙරටට බාරදීමට සාකච්ජා (වීඩියෝ)

පෙබ 06, 2019

    ඩුබායි නුවරදී අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ, මාකඳුරේ මධූෂ් හෙවත්, මධූෂ් ලක්‍ෂිත ප්‍රමුඛ පිරිස ශ්‍රී ලංකාවට බාරදීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ වී තිබේ.

    අත්අඩංගුවට ගැනීම සිදු කළ ඩුබායි ආරක්‍ෂක බලධාරීන් හා ශ්‍රී ලංකාවේ නිලධාරීන් අතර මෙම සාකච්ජා පැවැත්වෙන බව වාර්තාවේ. මාකඳුරේ මධූෂ් ඇතුළු අත්අඩංගුවට ගැනුණු 25 දෙනෙකුට ආසන්න කණ්ඩායම ඩුබායිහි බන්ධනාගාර මැදිරියක රඳවා තිබේ. එරට බලධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් ද සිදුකර ඇති බව වාර්තාවේ.

    ඩුබායිහි කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය පවසන්නේ, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමි පුද්ගලයෙකු ද පිරිස අතර වන බවයි. ප්‍රකට ගායකයෙකු හා ඔහුගේ පුත්‍රයා ද ජනප්‍රිය රංගන ශිල්පියෙකු ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතර වේ. මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සැකකරුවන් සන්තකයේ තිබී හමුවූ බව ද එම වෙඩ් අඩවිය අද වාර්තා කළේය.

    මාකඳුරේ මධූෂ්ගේ දෙවැනි බිරිඳට උපන් පුත්‍රයාගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබියදී අදාළ වැටලීම සිදුකර තිබේ. එම වැටලීමට ශ්‍රී ලංකාවේ විශේෂ පොලිස් කණ්ඩායමක තොරතුරු හා සහය එරට ආරක්‍ෂක බලධාරීන්ට ලැබී ඇත. මධූෂ් සමඟ අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු ද හඳුනාගෙන ඇති බව වාර්තාවේ. කන්චිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ චුට්ටා යන අය ඒ අතර වේ.

    දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතනයෙන් පසු, ඉන්දියාව ඇතුළු විවිධ රටවල රැඳි සිටිමින් ශ්‍රී ලංකාවේ අපරාධ කල්ලි මෙහෙයවූ මධූෂ්, සංවිධානාත්මක අපරාධකරුවන් වන සමයං, කොස් මල්ලි ඇතුළු ඝාතන රැසක් මෙහෙයවා තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබීමේ සිද්ධිය ද මොහු විසින් සැලසුම් කරන ලද්දක් බවට හෙළිවී ඇත. එමෙන්ම, විදේශ රටවලින් මහා පරිමාණයෙන් හෙරොයින් තොග ශ්‍රී ලංකාවට එවීමේ ජාවාරම්කරු බවට ප්‍රකට වූයේ ද මාකඳුරේ මධූෂ් නමැත්තායි. එවැනි ජාවාරම් රැසක් ඉකුත් මාස කිහිපය තුළ දී හෙළි කර ගැනීමට පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ සමත්ව තිබේ.

     

     

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 20:39

    Latest News