අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට ආධාර ලබාදීමට අගමැතිගෙන් උපදෙස්

මැයි 19, 2021

    අඩු ආදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ආධාර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 

    ඒ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ ඊයේ පැවති නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 විධිවිදාන ප්‍රකාරව, කාරක සභාවට යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කරන අතරවාරයේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට මේ උපදෙස් ලබා දී තිබේ. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ සංශෝධන කෙටුම්පත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

    ගාල්ල සහ දිවුලපිටිය ප්‍රදේශවල වතු ආශ්‍රිත පැල්පත් නිවාස පිළිබඳ මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. එහිදී, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ, එම ස්ථානවල නිවාස යෝජනා ව්‍යාපෘති සැලසුම් කරන ලෙසයි.

    උපදේශක කාරක සභාව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් පිරිසක් මීට එක්ව සිටියේය.

    Latest News