ජනපති සහ WHO ප්‍රධානී අතර සාකච්ඡාවක් – ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා ලක්ෂ 06ක් පිළිබඳ අවධානය

මැයි 08, 2021

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අධ්නාම් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර පැවති සාකච්ජා පළ දරා තිබේ. සාකච්ජාව පැවැත්වුණේ, සූම් තාක්ෂණය ඔස්සේයි.

    කොවිඩ් පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව පළ කළ ටෙඩ්‍රොස් මහතා ඊට පූර්ණ සහය ලබාදෙන බව ජනාධිපතිතුමා සමග පවසා තිබේ.

    කොවිඩ් පළමු රැල්ලට සාර්ථකව මුහුණදෙමින් වසංගතය පාලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් නායකත්වය ආචාර්ය ටෙඩ්‍රොස් අධ්නාම් මහතාගේ ප්‍රසාදයට ලක්විය. එහිදී ශ්‍රී ලංකාව අත්කරගත් සාර්ථකත්වය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති සමුළුවල දී සාකච්ජාවට ලක් කෙරුණු බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

    මෙවර ද කොවිඩ් වෛරසය පැතිර යාම ඉක්මනින් පාලනය කිරීම ශ්‍රී ලංකා රජයට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු පළ කළේය. දෙවැනි මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවක් ගෝලීය වශයෙන් පවතියි. මෙරටට ඇති අවශ්‍යතාව මාත්‍රා ලක්ෂ 6ක්.

    එම අවශ්‍යතාව සපුරා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. සයිනොෆාම් එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉදිරි තෙදින තුළ ලබා දීමට හැකි වෙතැයි ටෙඩ්‍රොස් මහතා සඳහන් කළේය.
    අනුමැතියත් සමග මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත ලබා දීමට හැකි වන බවයි, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය මට්ටමින් හා කොළඹ පිහිටි කාර්යාලයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා ටෙඩ්‍රොස් මහතාට සිය ප්‍රසංශාව පළ කළේය.

    Last modified on සෙනසුරාදා, 08 මැයි 2021 08:34

    Latest News