බදියුදීන් ගේ සොහොයුරු රිෆ්කාන්ට එරෙහි ව්‍යාජ ඔප්පු පැමිණිල්ල ජූනි 17

මැයි 06, 2021

    තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80 කට අධික ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසා විකුණු බවට සැක කෙරෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ජුනි මස 17 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

    එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා.

    ඒත් වර්තමානයේ පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තය හේතුවෙන් මෙම නඩුව අද කැඳවීමක් සිදු නොවූ අතර එය යළිත් ජුනි මස 17 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියම කර තිබෙන්නේ.

    තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80 කට අධික ඉඩම් ප්‍රමාණයක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර විකුණු බවට සැකපිට අත්අඩංගුවට ගත් රිෆ්කාන් බදියුදීන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදා හැර ලබා සිටිනවා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම්දී තිබුණේ.

    Latest News