21 වැනිදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය ගැන සෙවීමේ කමිටුව අද රැස්වෙයි

අප්‍රේ 28, 2021

    පසුගිය අප්‍රේල් 21 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ සෙවීමට කථානායකවරයා පත් කළ කමිටුව අද පළමු වරට රැස් වෙයි. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.

    පසුගිය අප්‍රේල් 21 වැනි දා පාර්ලිමේන්තු සභා ගර්භයේ දී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී උණුසුම්කාරී සිද්ධීන් කිහිපයක් වාර්තා විය. සභා ගර්භයේ දී ගැටුම්කාරී තත්වයක් ඇති වූ අතර මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද වාර්තා විය.

    හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ඉදිරියේ දී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කමිටුවක් පත් කලේය.

    ඒ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන්. කමිටු සාමාජිකයන් වන්නේ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඉමිටියාස් බාකීර් මාකර්, ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර, එම් ඒ සුමන්දිරන් යන මහත්වරුන් ඇතුළත්. කමිටුව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතයි.

    Latest News