ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජයග්‍රහණනයට

පෙබ 02, 2019

    ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වර්තමාන ජයග්‍රහණනයේ ප්‍රතිඵලයක් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එය අනාගත ජයග්‍රහනයේ ද පෙර නිමිත්තක් බව අරලියගහ මන්දිරයේ අද (02) පැවති උත්සවයේ දී පැවසීය.

    ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා යළි ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට තම අමාත්‍යාංශයත්, මුදල්, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන, මහාමාර්ග යන අමාත්‍යාංශ යොදා ගන්නා බවත් ගම්පෙරළිය වැඩසටහනේ සම්බන්ධීකරණය සඳහා අලුතින් සමෘද්ධි ව්‍යාපාරයට බඳවා ගන්නා නිලධාරීන් 750ක් යොදවන බවත් පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් 2019 වර්ෂය සඳහා හඳුන්වා දෙමින් අරලියගහ මන්දිරයේ දී අද පැවති උත්සවය අමතමිනි.

    රජයේ මැති-ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්, දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූ මෙම උත්සවය අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

    ගම්පෙරළිය වර්තමාන ජයග්‍රහණයේ ප්‍රතිඵලයක්. එය අනාගත ජයග්‍රහණයේ පෙර නිමිත්තක්. අප සියලු දෙනා එකමුතුව එකට එකතුවී මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියා කරමු. ඔක්තෝබර් 26 වැනිදා සිට දින 51ක කාලය තුළ මේ වැඩසටහන් සම්පුර්ණයෙන්ම නතර කළා. නමුත් අපි යළිත් ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා මේ වැඩසටහන් අද සිට ආරම්භ කරනවා.
    මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට මාගේ අමාත්‍යාංශය, මුදල්, මහාමාර්ග හා පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත් ඒකාබද්ධව අලුත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. අය-වැය එනතෙක් බලා නොසිට දැන් සිටම ඇස්තමේන්තු සකස් කර මුදල් ලැබුණු සැණින් වැඩ කටයුතු ආරම්භ කළ යුතුයි.

    ගම්පෙරළිය වැඩසටහන සම්බන්ධීකරණ කරමින් ඒ වැඩපිළිවෙළ ගමට ගෙනයාමේ වගකීම අලුතින් සමෘද්ධි ව්‍යාපාරයට බඳවා ගන්නා නව නිලධාරීන් 750 දෙනෙකුට බාරදීමට අප පියවර ගෙන තිබේ. 

     

     

     

     

     

    Latest News