බියකින් තොරව, දරුවන් පාසල් එවන්න; මහාචාර්ය ජී.එල්.පීරිස්

මාර් 29, 2021

    බස්නාහිර පළාතේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියළුම ශ්‍රේණි අද ආරම්භ කෙරිණ. පාසල් පැවැත්වෙන්නේ, සෞඛ්‍ය නිර්දේශවලට අනුගතවයි.

    එම නිසා බියකින් තොරව, දරුවන් පාසල් වෙත එවන ලෙස අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමෙන් පසු අදියර කිහිපයක් යටතේ යළි විවෘත කෙරිණ. එහෙත්, බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම අවස්ථා කිහිපයකදීම කල් දැමිණ.

    ඒ, වරින්වර උද්ගතවූ තත්වයන් සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත්, පසුගිය 15 වැනි දින සිට බස්නාහිර පළාතේ පාසල්වල 5,11 සහ 13 වැනි ශ්‍රේණි විවෘත කෙරිණ. පාසල් පිහිටි යම් ප්‍රදේශයක් හුදෙකලා කෙරුණහොත් අදාළ කාල සීමාව ඉකුත් වනතුරු අදාළ පාසල් පමණක් තාවකාලිකව වසා තැබෙනු ඇත.

    පාසල් පරිසරයට දරුවන් යළි අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නැංවීමට සුදුසු ක්‍රියාකාරකම්වල යෙදවීම සුදුසු වන අතර, පාසල් ආරම්භ කළ වහාම සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීම යෝග්‍ය නොවන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

    පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් පංති පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද මාර්ගෝප‍දේශ ලබා දී ති‍බේ.

    Latest News