කොටුගොඩ ධම්මාවාස මහ නා හිමි ජාතික, ආගමික ප්‍රශ්නවලදී ශාසන සම්ප්‍රදාය නොබිඳ රට වෙනුවෙන් කැප වුණා - ජනපති

මාර් 26, 2021

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ජාතික, ආගමික ප්‍රශ්නවලදී ශාසන සම්ප්‍රදාය රැකගෙන රට වෙනුවෙන් කැප වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    උන්වහන්සේ නිවුනු, සැනසුනු රටක් වෙනුවෙන් හැමවිටම රජයට සහ රාජ්‍ය නායකයන්ට අනුශාසනා කළ බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

    ඊයේ (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අමතමින් රාජපක්ෂ මැතිතුමා එසේ ප්‍රකාශ කළේය.

    ආදාහන පූජෝත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ ශ්‍රී දේහයට වැඳ නමස්කාර කර අවසන් ගෞරව දැක්වීය.

    hethero_02.jpg

    1933 ජනවාරි 26 වැනි දින අළුත්කුරු කෝරලයේ, දාසියපත්තුවේ, අත්තනගලු ඔය අසබඩ කොටුගොඩ ගම්මානයේ උපත ලැබූ උන්වහන්සේ අපවත්වන විට 88 වැනි වියෙහි පසු වූහ. වයස 14 දී පැවිදි බිමට පිවිසි උන්වහන්සේ 1954 වසරේදී උපසම්පදාව ලැබූහ.

    රත්මලාන පරමධම්මචේතිය පිරිවෙණෙන් හා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙණෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ දශක 07කට අධික කාලයක් ශාසන මෙහෙවරෙහි නිරත වූහ. අමරපුර මහා නිකායේ අනුනායක, සම ලේඛකාධිකාරී, මහා ලේඛකාධිකාරී සහ උත්තරීතර මහා නායක ධූර හෙබ වූ උන්වහන්සේ අපවත්වන තුරුම සමාජයට හා බෞද්ධ ප්‍රජාවට ඉමහත් සේවාවක් කළහ. ගුවන්විදුලිය, රූපවාහිනිය ඔස්සේ ධර්ම දේශනා විශාල සංඛ්‍යාවක් කළ උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ රැසක් ද රචනා කර තිබේ.

    ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය නායකයා ලෙස මෙන්ම සමීප දායකයෙකු ලෙසත් ධම්මාවාස නා හිමියන් බැහැ දුටු සෑම විටකදීම සමාජ සුබසිද්ධිය, සමාජය සමෘද්ධිමත් කිරීම සහ ජනතා යහපත උදෙසා උන්වහන්සේ අනුශාසනා කළ බව ජනාධිපතිතුමා පැවසීය.

    මහානායක ස්වාමීන් වහන්සේ තුළ වූ කාරුණිකව බව සහ නිවුණු ගති ගුණ ලොකු කුඩා සැමට හොඳින් දැනිණ. සම්භාවනීයත්වයට, ලෝක ගෞරවයට පාත්‍රවත්ම උන්වහන්සේ තව තවත් සමාජයට හා දායකකාරකාදීන්ට සමීප සහ කාරුණික වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    උන්වහන්සේගේ හදවතේ තිබූ කාරුණික බව, කටහඬින් සහ කථා විලාශයෙන් පිළිඹිබු වූ බව රාජපක්ෂ මැතිතුමා සිහිපත් කළේය. ගම්, නියම් ගම්වල සහ විදෙස් රටවල ධර්ම ප්‍රචාරයේ යෙදෙමින් උන්වහන්සේ රටටත්, බෞද්ධ ලෝකයටත් කීර්තියක් අත්කර දුන් බව ජනාධිපතිතුමා කීය.

    කොටුගොඩ ධම්මාවාස නා හිමි ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණ.

    hethero_01.jpg

    මහානායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ සෙසු ආගමික පූජකවරු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, විදේශ නියෝජිතයෝ, සමස්ත අමරපුර නිකායාරක්ෂක දායක සභාවේ සභාපති අජිතා ද සොයිසා මහතා ඇතුළු දායක සභාව සහ සැදැහැවත්හු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News