ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි තීන්දුව බ්‍රිතාන්‍ය අධිකරණය ඉවත් කරගනී

මාර් 20, 2021

    බ්‍රිතාන්‍යය වෙස්ට්මිනිස්ටර් මහාධිකරණය මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව ලබාදී තිබූ තීන්දුව ඉවත්කර ගැනීමට කටයුතු කර තිබේ.

    එම අධිකරණය විසින් 2019 වසරේ ලබාදුන් තීන්දුවට එරෙහිව ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යය මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනාවක් සළකා බලා මෙම තීරණය ගෙන ඇති බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

    2018 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනයේ දී ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලය අසල LTTE සංවිධානයට සහය දක්වමින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. එම පිරිසට හස්ත සංඥා මගින් තර්ජනය කළ බවට 2018 වසරේදී ප්‍රියංක මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණ හමුවේ නඩු පැවරීමක් සිදුකර තිබිණ.

    2019 වසරේ දෙසැම්බර් 06 වැනිදා එම නඩුවේ තීන්දුව ලබාදෙමින් අධිකරණය මගින් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2,400ක දඩ මුදලක් නියම කළේය. ඒ එරට මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරදට දඬුවමක් වශයෙන්.

    නමුත්, ඊට එරෙහිව කරුණු දක්වමින් ඉදිරිපත් කළ අභියාචනය සළකා බලා ඊයේ බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

    Latest News