විදෙස් සංචාරකයන්ට නිරෝදායන මාර්ගෝපදේශ මාලාවක්

මාර් 18, 2021

    සෞඛ්‍ය අමාත්‍යාංශය, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සහ ගුවන් මගීන්ට සංශෝධිත නිරෝදායන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

    එය ශ්‍රී ලංකික ගුවන් මගීන්, සංචාරකයින් සහ ද්විත්ව පුරවැසියන් සඳහා ක්‍රියාත්මකයි. ඒ අනුව, සති දෙකකට පෙර කොවිඩ් එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ගුවන් මගීන් පැය 24ක් තුළ පැමිණි පසු ලබාගත් පීසීආර් පරීක්‍ෂණයකින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුවහොත්, ඉන් පසු සිය ගමනාන්තය දක්වා යා හැකිය.

    ඔවුන් තම ගම් ප්‍රදේශ වෙත ගිය පසු ඒ බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත දැනුම් දිය යුතුයි. අදාළ පුද්ගලයන් පීසීආර් ප්‍රතිඵල ලැබෙන තෙක් නිරෝදායන මධ්‍යස්ථානයක හෝ නිරෝදායන හෝටලයකට හෝ යොමු කෙරේ.

    එම පිරිස නැවත දින 7කට පසු පීසීආර් පරීක්‍ෂණයකට ද භාජනය විය යුතුය. එන්නත ලබා නොගත් පුද්ගලයින් මෙරටට පැමිණිමේදී නිරෝදායන මධ්‍යස්ථානයක හෝ නිරෝදායන හෝටලයක අනිවාර්ය නිරෝදායනය සඳහා යොමුවිය යුතු වේ.

    එන්නත ලබාගෙනපැමිණෙන සංචාරකයන් පීසීආර් පරීක්‍ෂණයකින් පසු රැඳී සිටි හෝටලයේම දින 7ක් සිටිය යුතුයි. එම කාලය තුළ ඔවුන්ට ජෛව බුබුල සංකල්පය යටතේ සංචාරය සඳහා අවසර හිමිවේ.

    එම පුද්ගලයන්ට රෝගය වැළඳී නොමැති බවට පළමු දින සහ දින 7කට පසුව සිදු කරනු ලබන පීසීආර් පරීක්‍ෂණවලින් තහවුරු වීමෙන් අනතරුව, තමන්ට අවශ්‍ය පරිදි සංචාරක ගමනාන්ත දක්වා ගමන් කළ හැකිය. එන්නත ලබා නොගත් සංචාරකයන් දින 14ක් යනතුරු එකම නවාතැන්පොළක රැඳී සිටිය යුතු අතර, ඔවුන් ද ජෛව බුබුල සංකල්පය යටතේ සිය සංචාරය කළ යුතු වේ.

    මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වුවහොත්, දැනට ක්‍රියාත්මක නිරෝදායන රෙගුලාසි යටතේ ක්‍රියා කෙරෙනු ඇත.

    Latest News