අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට 3වන වතාවටත් සිංගප්පුරු නීතිපතිවරයා වෙත කරුණු යොමු කරයි

මාර් 18, 2021

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත තෙවැනි වරටත් කරුණු පැහැදිලි කිරීම් යොමු කර ඇතැයි, මෙරට නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට අද දැනුම් දුන්නේය. අර්ජුන් මහේන්ද්‍රන් චෝදනා ලැබ සිටින්නේ, 2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්.

    නඩුව චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම-මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ දරුණු දක්වමින්, නඩුවේ පළමු විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් නමැත්තා මේ වනවිට සිංගප්පූරුවේ සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලා සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත මෑතකදී ඉල්ලීමක් යොමු කළ බව සඳහන් කළේය.

    මෙම නඩුවේ 10 වැනි විත්තිකරු ලෙස නම් කරනු ලැබ සිටින අජහාන් ගර්දිය පුංචිහේවා යන අය මැලේසියාවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහුට අදාළ සිතාසිය එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කෙරිණ. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඉංග්‍රීසි භාෂාවෙන් සිතාසිය යොමු කරන ලෙසට නියෝග කළේය.

    නඩුව අද කැඳවනු ලැබු අවස්ථාවේ එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය. නඩුවේ සෙසු විත්තිකරුවන් වන “පර්පචුවෙල් ට්‍රේෂරිස්“ සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වෙනත් නඩු කටයුත්තකට බන්ධනාගාර ගතකොට ඇති බැවින් ඔවුන් අද ඉදිරිපත් කෙරුණේ නැහැ.

    අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ, එම විත්කිරුවන් මැයි මස 5 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජයසුන්දර මහත්මිය මෙම නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කර, තවත් එක් චෝදනාවක් එක් කරන බව, අධිකරණයට ප්‍රකාශ කළාය.

    බැඳුම්කර චෝදනාවට අදාළ නඩුව සම්බන්ධයෙන්, රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නිරෝධායනය සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍ර යේ මීට පෙර කාන්තා බන්ධනාගාරය පිහිටි ගොඩනැගිල්ලට යොමුකර තිබේ.

    නිරෝධායන කාලසීමාවේදී සැකකරුවන්ට කිසිදු පුද්ගලයෙකු මුණ ගැසීමට අවස්ථාව හිමි නොවන අතර, පිටතින් ආහාර ගෙන්වා ගැනීම ද තහනම්. අදාළ පුද්ගලයන් එම ස්ථානයේ රැඳවීමට පෙර, වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරිණ. ඒ, කොළඹ බන්ධනාගාරවල රඳවනු ලබන රැඳවියන් නිරෝධායනය සඳහා එහි මධ්‍යඊස්ථානයක් ස්ථාපනය කිරීම හේතුවෙන්.

    2016 වසරේ මාර්තු මස පැවති බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම්කර, සාපරාධි සාවද්‍ය පරිහරණය කළේ යැයි, හිටපු මුදල් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

    නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින “පර්පෙචුවෙල්“ සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අදාළ සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ලෙස ක්‍රියා කළ චිත්ත රංජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරින් වන එස් පදුමනාභන්, ඉන්දික සමන් කුමාර යන අයද, රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණ.

    නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ තෙවැනි විත්තිකරු ලෙස නම් කරනු ලැබ සිටින, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ නඩුවේ 9 වැනි විත්තිකරු වන අජාන් ගාර්දිය පුංචිහේවා යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ, එම විත්තිකරුවන් දෙදෙනාම විදේශ ගතව සිටින අතර, ඔවුන්ට සිතාසි බාරදීමට නොහැකි වූ බවයි.

    දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසු දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න හා මොහොමඩ් ඉසඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියෝග කරනු ලැබීය.

    Latest News