අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු දරු යාත්‍රා දියත්වෙයි

මාර් 18, 2021

    කලුතර දිස්ත්රිමක්කයේ 2021 වසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

    මව්බිමේ අනාගත සිසු දරු දැරියන්ගේ නැණ පහන් අවදි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ සමාජ සත්කාරයක් ලෙස සිසු දරු යාත්‍රා වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. පළමු අදියර යටතේ ළමුන් 106 දෙනෙකුටත් සමස්ත ව්‍යාපෘතිය යටතේ කලුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 20,000කටත් මෙම පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට නියමිතය.

    අගමැතිතුමා පැමිණ සිටි පිරිස අමතා මෙසේ පැවසීය.

    මම ඉතාම සන්තෝෂ වෙනවා කුඩා දරුවන් දිරිමත් කරන මෙම උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන, අපි දරුවන් වෙනුවෙන් කැපවුණු ආණ්ඩුවක් අපි රටේ අනාගතයට හොඳ දරුවන් නිර්මාණය කළ යුතුයි, අධ්‍යාපනය වගේම ගුණධර්ම ලබා දීම ගැනත් අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුනොත් අපේ දරුවන් සමාජයේ මොන තත්ත්වයකට පත්වෙනවද කියන්න බැහැ. දරුවන් ගැන අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. පැය විසි හතරම පොතපතේ සිටින එක නෙවෙයි දරුවන්ට සෙල්ලම් කරන්න නිදහස විඳින්නත් අවස්ථාවක් දෙන්න. සෑම අංශයකින්ම දරුවන් ශක්තිමත් කරන්න. විශේෂයෙන් ක්‍රීඩාවකට දරුවන් හුරු කළ යුතුයි. ක්‍රීඩාවෙන් ජය පරාජය විඳ දරාගැනීමට දරුවන් හුරු වෙනවා. එසේ නොවුනොත් සමාජයට ආවම ජය පරාජය දරාගන්න බැරුව විනාශ වෙලා යනවා. දරුවන් වෙනුවෙන් රෝහිත ඇමතිතුමා ආරම්භ කළ මේ වැඩපිළිවෙල දිවයින පුරා අනෙකුත් දිස්ත්‍රික්කවලත් ක්‍රියාත්මක කරනවා නම් වටිනවා යැයි අගමැතිතුමා ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලිල්, හිටපු ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය සභා සභාපතිවරුන්, ජපාන නියෝජ්‍ය තනාපති කිතමුරා තොෂිනිරෝ, වරාය හා නාවික අමාත්‍යාශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී කේ පෙරේරා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දෙමාපියන් සහ පාසල් දූ දරුවන් රැසක් එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 මාර්තු 2021 17:19

    Latest News