පස් කැණීම් බලපත් නිකුත් කිරීමේ දී බලපත්ලාභීන්ට සහන

මාර් 16, 2021

    වැලි, කළුගල්, හා පස් කැණීම් බලපත් නිකුත් කිරීමේ දී බලපත්‍රලාභීන්ට සහන හිමිවන වැඩ පිළිවෙළක් සලකස් කිරීමට සැලසුම් කර තිබේ.

    වැලි බලපත් නිකුත් කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළීවෙළක් ඇරඹීමට සැළසුම් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දැනට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ඛණිජ කැණීම් බලපත් නිකුත් කරන අතර එම කැණීම් කටයුතු සිදු කිරීම සඳහා ආයතන රැසක අනුමැතිය ලබා ගැනීමට හා ඊට අදාලව මුදල් ගෙවීමට ඔවුන්ට සිදුවේ. මෙම තත්ත්වය නිසා බලපත්‍ර ලබා ගැනීමට දිගු කාලයක් ගත වන බව බලපත්‍ර අපේක්ෂකයින් විසින් පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

    එම නිසා පරිසර අමාත්‍යාංශය විසින් වැලි,කළුගල් හා පස් කැණීම් බලපත් නිකුත් කිරීමේ දී බලපත්ලාභීන් රස්තියාදු නොකර ඔවුන්ට එකම ස්ථානයක දී බලපත් ලබා ගැනීමට පහසුකම් සැලසීමේ වැඩපිළීවෙළක් අරඹන බව පරිසර අමාත්යඔ මහින්ද අමරවීර මහතා පැවැසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා (13) අනුරාධපුර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ දී පැවැති රැස්වීමක් අමතමිනි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඛණිජ කැණීම් බලපත්ලාභීන් කැඳවා ඛණිජ සම්පත් ඵලදායීව හා පරිසර හානියක් සිදු නොවන අයුරින් සිදු කිරීම සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට බලපත්ලාභීන් 300ක් පමණ සහභාගි වී සිටියහ.

    “මිහිමවට කන්දෙමු” යනුවෙන් නම් කර ඇති මෙම වැඩ සටහන යටතේ කැණීම් සිදු කරන ස්ථානවල පරිසරය සුරැකෙන පරිදි පුනරුත්ථාපනය කිරීම සඳහා කැණීම්කරුවන් දැනුම්වත් කිරීම ද මෙම වැඩපිළීවෙළේ අරමුණකි.

    ඒ අනුව කැණීම් බලපත්ලාභීන් සඳහා ලබා දීමට යෝජිත සහන සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.

    1. කැණීම් බලපත්‍රය වසර 03ක කාලයකට දීර්ඝ කෙරේ.

    දැනට වසරක් සඳහා නිකුත් කරන කැණීම් බලපත්‍රය වසරින් වසර අලුත් කළ යුතුව ඇත. ඒ හැම අවස්ථාවකම ඔවුන්ට ආයතන රැසකින් අනුමැතිය ලබා ගැනීමට සිදුවේ. එය කාලය අනවශ්‍ය ලෙස කා දැමීමක් වන බැවින් එක්වර වසර තුනක් සඳහා වලංගුවල බලපත් නිකුත් කෙරේ.

    02.සියලු ආයතනවල අවසරය එක් ස්ථානයකින් ලබා දීම.

    කිසියම් ඛණිජ කැනීමක් සිදු කරනවිට ඊට බලපවත්වන ආයතන රැසක අනුමැතිය ලබා ගැනීමට සිදුවේ. ඒ අනුව පුරාවිද්‍යා,නාගරික සංවර්ධන,ප්‍රාදේශීය සභා,වනසංරක්ෂණ,ඉඩම්, ආදි විවිධ ආයතනවලින් අනුමැතිය ලබා ගැනීමට බලපත්ලාභීන්ට යාමට සිදු වන බැවින් එම සියලු කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කරනු ඇත. එමෙන්ම මුදල් ගෙවිය යුතු වන්නේ එම කාර්යාංශයට පමණක් වන අතර අදාල ආයතන සමග සම්බන්ධීකරණ කටයුතු එම කාර්යාංශය විසින් සිදු කරයි.

    03.කැණීම් බලපත් ගාස්තුව සියයට 50කින් අඩු කෙරේ.

    කැණීම් සිදු කරන්නන් විසින් එක් එක් ආයතන සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවන බැවින් ඔවුන්ට විශාල මුදලක් ඒ සඳහා වැය කිරීමට සිදුවේ. එම නිසා බලපත් ගාස්තුව සියයට 50කින් පහළ දැමීමට කටයුතු කරන බව ද අමාත්ය වරයා සඳහන් කළේය.

    1. ඇතැම් ඛනිජ ද්‍රව්‍ය අමුද්‍රව්‍ය වශයෙන් නොව අගය එකතු කළ Value Added Production නිෂ්පාදන වශයෙන් සකස් කර අපනයනය කිරීම. දැනට අපේ රටේ බොහෝ වටිනා දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය අපනයනය කරනු ලබන්නේ අමුද්‍රව්‍ය වශයෙනි. එමනිසා ඒවා අමුද්‍රව්‍ය වශයෙන් නොව අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කර අපනයනය කිරීමේ වැඩ පිළීවෙළක් ඇරඹීම මගින් දැනට වඩා විශාල මුදලක් උපයා ගැනීමට හැකිවේ.

    2. කැණීම් ව්‍යාපෘතිය අවසන් වනවිට එම ස්ථානය පුනරුත්ථාපනය කිරීම

    කැණීම් ව්‍යාපෘතියක් අවසන් වු පසු දැනට එම ස්ථාන දිස්වන්නේ “යකුන් නැටූ සොහොන් පිටි” මෙනි. ඒ තරමට එම ස්ථාන බියජනක ස්ථාන ලෙස දෘශ්‍යමානවේ. එමනිසා කැණීම් අවසන් වන විට එම ස්ථානය පුනරුත්ථාපනය කිරීම ද කැණිම් බලපත්‍රලාභියාගේ වගකීමක් වේ. මේ සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මනා අධීක්ෂණය කළ යුතුය.

    එමෙන්ම ඛනිජ සම්පත් හැකි තරම් රටේ සංවර්ධන කටයුතු සඳහා තිරසාර ලෙස යොදා ගැනීමට දායකත්වය ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ, අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා , අනුරාධපුර දිස්ත්‍රික්ක ලේකම් ආර්. එම්. වන්නිනායක යන මහත්වරු ද සහභාගී වූහ.

    Latest News