හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්නට එරෙහි නඩුව ජූලි 6

මාර් 10, 2021

    රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන්ට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළ නඩුවක් ජුලි මස 6 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විත්තිකාර සරත් ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන දත්ත අඩංගු පරිගණක යන්ත්‍ර පරික්ෂා කිරීම සඳහා අධිකරණය දුන් නියෝගය පරිදි විත්තියේ නීතිඥවරු ඉකුත්දා ධීවර වරාය නීතිගත සංස්ථාවට ගිය බවත් එම අවස්ථාවේදී අදාළ පරිගණක යන්ත්‍ර සොයා ගත නොහැකි බවට එහි සිටි නිලධාරීන් දැනුම් දුන් බවත් පැවසුවා.

    මේ අනුව අදාළ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන "දත්ත" පරික්ෂා කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවත් ඒ අනුව මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටළුවක් මතුවිය හැකි බවත් ජනාධිපති නීතිඥ මෙන්ඩිස් මහතා පෙන්වා දුන්නා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා මෙම පරිගණක සම්බන්ධයෙන් සොයාබලා මීළඟ නඩු දිනයේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

    අනතුරුව නඩු විභාගය ජුලි මස 06 වනදා තෙක් කල් දැමුණා.

    Latest News