ජාතික හැඳුනුම්පත (Online) ක්‍රමයට තහවුරු කිරීමේ වැඩපිළිවෙළක්

මාර් 05, 2021

    “තාක්‍ෂණය මත පදනම් වන සමාජයක්-ඩිජිටල්කරණය වූ ශ්‍රී ලංකාවක්“ ගොඩනැගීමේ සෞභාග්‍යෙය් දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව (Online) තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

    රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මුල්‍ය ආයතන, දුරකථන සේවා සපයන ආයතන, රක්‍ෂණ සමාගම් යනාදි ආයතනවල සේවා අවශ්‍යතාවන් ඉටු කරගැනීමේ දී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගතව සහතික කිරීම (Data Authentication & Verification) සඳහා මෙම වැඩපිළිවෙළ මගින් අවස්ථාව සැලසෙනු ඇත.

    ඒ අනුව මේ වනවිටත්, මෙම වැඩපිළිවෙළ යටතේ පුද්ගල දත්ත මාර්ගගතව තහවුරු කරගැනීමේ සේවාව ලබා ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව (කොටස් වෙළෙඳපල) ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩයලොග් මූල්‍ය ආයතනය, සම්පත් බැංකුව, ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්ඩියා, එච්එස්බීසී බැංකුව යන ආයතන සමඟ ගිවිසුම් ගතවී ඇති අතර, ඉදිරියේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය, ජාතික ලොතරැයි මණ්ඩලය, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සණස සංවර්ධන බැංකුව, වැලිබල් ෆිනෑන්ස්, යනාදි ආයතන ඇතුලු තවත් ආයතන රැසක් සමඟ ගිවිසුම් ගතවීමට නියමිතය.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ තාක්‍ෂණික දායකත්වයත් සමඟ සිදු කරන මෙම වැඩපිළිවෙළ ඔස්සේ පුද්ගල දත්ත ද්විත්ව වීම වළක්වා ගැනීමට මෙන්ම වංචනික ක්‍රියා වළක්වා ගැනීමට ද හැකියාව ලැබී ඇත.

    ඒ අනුව නව තාක්‍ෂණය සමඟ මුසු වූ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය තුළ පුද්ගල අනන්‍යතාවය වඩාත් නිවැරදිව හා විශ්වසනීයව තහවුරු කරමින්, විධිමත් හා කාර්යක්‍ෂම මහජන සේවාවන් සැපයීම සඳහා ඉහත සියලුම ආයතනයන්ට අවශ්‍ය සහය ලබාදීමට හැකියාව ලැබී ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් පවසයි.

    Latest News