විරුවන්ගේ දේහයන් පෙබ. 02 දිවයිනට

ජන 30, 2019

    මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුමක් අතරතුරදී, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවි පිදූ කපිතාන් දිනේෂ් ජයවික්‍රම සහ කෝප්‍රල් සමන් විජේකුමාර යන විරුවන් මේජර් සහ සැරයන් නිලවලට උසස් කර තිබේ.

    ඔවුන්ගේ දේහයන් ලබන සෙනසුරාදා පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි. ඔවුන්ගේ දේහයන් හමුදා සම්ප්‍රදායානුකූල පෙළපාලියකින් ගෞරවාන්විතව බාරගැනීමට නියමිතයි.

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වනු ඇති. එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරන ලද දේහයන් තැන්පත් කරන “දෙණ“ එක්සත් ජාතීන්ගේ සාම සාධක මූලස්ථානයේ ආඥාපති ලුතිතන් ජනරාල් ඩෙනිස් ගිලිස්පොරේ ඇතුළු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් විසින් යුද හමුදාව වෙත බාරදීමට නියමිතයි.

    එහිදී ශ්‍රී ලංකා ජාතික ධජයෙන් දේහයන් සහිත “දෙණ“ ආවරණය කිරීමෙන් පසු පශ්චාද් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මීගමුව රෝහල වෙත රැගෙන යන බව යුද හමුදා මූලස්ථානය පවසයි.

    දිවි පිදූ රණවිරු දෙපළගේ අවමංගල්‍ය යුද හමුදා සම්ප්‍රදායානුකූලව ඔවුන් පදිංචි පොළොන්නරුව සහ පොල්පිතිගම ප්‍රදේශවලදී සිදු කිරීමට නියමිතයි. මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ යෙදී සිටියදී ඔවුන් රැගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් ඉලක්ක කර සිදුවූ අධිබලැති පිපිරවීමක් හේතුවෙන් ඉකුත් 25 වැනිදා මේ රණවිරුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්වූහ.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, දිවි පිදු මේජර් දිනේෂ් ජයවික්‍රම මහතාගේ නිවසට ගොස් රජයේ ශෝකය පළ කළේය. පවුලේ සාමාජිකයන් සමඟ කතාබහක නිරත වූ රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරි අවශ්‍යතා පිළිබඳ විමසා බැලීය.

    පොළොන්නරුව ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් හා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News