කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොනුකළ පෙත්සම කැඳවීමට දිනයක්

පෙබ 18, 2021

    පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ආශ්‍රිත කාල සීමාවේ කිසියම් පිරිසක් විසින් කඩු 6000 ක් පමණ මෙරටට ආනයනය ලදැයි කියන සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශ වලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සමක් මාර්තු මස 05 වැනිදා කැඳවන දෙස අභියාචනාධිකරණය නියම කළේය. 

    එදින මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර තිබෙන විමර්ශනවල තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් පොලිස්පති සී ඩී වික්‍රමරත්න ඇතුළු අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කරනු ලැබීය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදු කරනු ලැබීය.

    පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පැවසීය.

    ඉන් කඩු 600ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙන අතර ඒවා මොහොමඩ් සත්තාර් නැමැත්තෙකු විසින් ගෙන්වා ඇති බවටත් ඒවා පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට මිය ගිය මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවයකට ගෙන්වා තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    ඊට අමතරව තවත් කඩු 5400ක් පමණ මේ වනවිට රට තුළ නිදැල්ලේ සැරිසරමින් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා මෙය ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි කියා සිටින්නේ.

    මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස තම සේවාදායකයා ආරක්ෂක ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රශ්නයක් මතු කරමින් මෙම සිද්ධිය පිළිබඳව වගඋත්තරකරුවන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තිබේ දැයි විමසීය.

    ඊට පිළිතුරු දුන් කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා, වගඋත්තරකරුවන් අධිකරණය හමුවට පැමිණ මෙම සිද්ධිය පිළිබඳව විධිමත් හා විශ්වාසදායක පරීක්ෂණයක් සිදුකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් තමන් එම නඩුකරය සමථයකට පත්කර ගැනීමට ඇති හැකියාව සලකා බලන බවද සඳහන් කළේය.

    ඉන් අනතුරුව පෙත්සම නැවත මාර්තු මස 05 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    එදින එම සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබඳව අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය බුද්ධි සේවය ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිශාන්ත ද සොයිසා, රේගු අධ්‍යක්ෂ ජනරාල් යන පාර්ශ්ව වෙත අභියාචනාධිකරණය විසින් නොතිසි නිකුත් කරනු ලැබීය.

    Latest News