රවි කරුණානායකට සහ අර්ජුන් ඇලෝසියස්ට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඇප නියම වෙයි

පෙබ 05, 2021

    අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට අද අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විත්තිකරුවන් දෙදෙනාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා. විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන්ට විදේශගත වීම තහනම් කරන බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවත් නියෝග කලා.

    එම නියෝගය පිටපතක් ආගමන හා විගමන පාලකවරයාට සහ කටුනායක ගුවන් තොටුපල වෙත යොමු කරන ලෙසත් විනිසුරු වරයා නියෝග කළා.

    මෙම නඩුවේ විත්තිකරුවන්ගේ ඇප තැබීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා නඩුව නැවත ලබන 12 වනදා කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

    නඩුව විභාග කිරීම සඳහා සියලු කටයුතු සම්පූර්ණ කර තිබේදැයි පරික්ෂා කිරීම සඳහා එය අප්‍රේල් මස 01 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් වැඩිදුරටත් නියෝග කළා.

    2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 30 වන දා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ "මොනාර්ක් නිවාස සංකීර්ණයේ" පිහිටි අංක 5 PH2 දරන නිවසේ පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත එම අධිචෝදනා පත්‍රය තුළින් චෝදනා එල්ල කර තිබේ.

    එම නිවස සඳහා විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගම සහ පර්පචුවල් කැපිටල් සමාගමේ චෙක්පත් වලින් රුපියල් මිලියන 11.68 ක මුදලක් ගෙවා ඇති බවද එම චෝදනා වල සඳහන් වේ. එම ක්‍රියාවලිය සඳහා ආධාර අනුබල දීම තුළින් මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිවද අල්ලස් පනතේ 19(ඇ) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇතැයි අධි චෝදනා එල්ල කර ඇත. මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර තිබෙන සමස්ත අධිචෝදනා සංඛ්‍යාව හයකි. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 32 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

    නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 58 ක් ඉදිරිපත් කර තිබේ. මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් මහතා 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ ද විත්තිකරුවෙකු වශයෙන් නම් කර සිටි.

    Latest News